නිදහසින් පසු මෙරට බිහිවූ සෑම ආණ්ඩුවකටම වඩා මාධ්‍ය නිදහස පිළිබඳ වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබේ. අප එසේ කියන්නේ වත්මන් පුනරුද ආණ්ඩුව බිහිවූයේ එදා මෙදාතුර සෑම ආණ්ඩුවක් විසින්ම අඩු වැඩි වශයෙන් සිදු කළ මාධ්‍ය මර්දනයට එරෙහිව වැඩිම සද්දයක් දැමූ විපක්ෂ දේශපාලන බලවේගය ලෙසින් වීම නිසයි.
මාධ්‍යවේදීන් මහ මඟ ඝාතනය වනවිට, අතුරුදන් වනවිට, මාධ්‍යවේදීන්ට පහර දෙන විට, කපා කොටා දමන විට, මාධ්‍ය ආයතන ගිනි තැබූ විට ‘මාධ්‍ය මර්දනය හෙළා දකිමු’ යන සටන් පාඨයෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත් දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණය.
එම දේශපාලන බලවේගය ආණ්ඩු බලය ලබා ගෙන තවම මාස හයක් ගත වූවා පමණි .පළමුව ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හැඳුනුම්පත පිළිබඳ රතු එළියක් පත්තු කළේය. එහිදී කැබිනට්ටුව වාර්තා කිරීමට මාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කෙරිණි.
ඉන්පසුව රජය මෙරට මාධ්‍ය භූමිකාවේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන වෙබ් අඩවි මර්දනයටද සූක්ෂමව අත තියා ඇත.
පවතින නීති රාමුව තුළ සියලුම ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ඒවා හිමිකරුවන්ගේ නමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතුය.
දේශපාලනඥයන්, වෘත්තිකයන් ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයන්ට අපහාස වන අන්දමින් මඩ ගසනාවායැයි පවසමින් වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීම ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුලදීය.
ඒ අනුව වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට කොන්දේසි ගණනාවක් යටතේ සිය වෙබ් අඩවිය ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළ හැකි විය.
ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන සරල ආකෘතික අයදුම්පත්‍රයක් සම්පුර්ණ කිරීම පමණක් ප්‍රමාණවත් වූ අතර (ගෝඨාභය පාලනයේ පවා) ජනමාධ්‍ය අමාත්‍යශයේ සම්මුඛ පරීක්ෂණයක් ඔස්සේ සුදුසුකම් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබීය. එම අනුමැතිය ලබා දීමට පෙර රාජ්‍ය බුද්ධි අංශයෙන් පැමිණ අයදුම්කරුගේ පසුබිම පරීක්ෂා කිරීමකින් පසු ලියාපදිංචිය ලබා දීම සිදු කෙරිණි.
රාජපක්ෂ සමයෙන් පසු බලයට පත් වූ යහපාලන රජය සමයේ සහ ගෝඨාභයගේ හෝ රනිල් වික‍්‍රමසිංහ පාලන කාලයේදී පවා එම පිළිවෙලෙහි වෙනසක් සිදු වූයේ නැත.
එහෙත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පැමිණි වර්තමාන රජය මෙම ක්‍රියාදාමය සහමුලින්ම කණපිට ගසා එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අධික්ෂණය කිරීමට පවරා තිබීම බරපතල කණස්සල්ල මතු කරන්නක් බවට පත් කර ඇත.
ඒ අනුව වෙබ් ලියාපදිංචිය සදහා කටයුතු කරන වෙබ් අඩවි හිමිකරුවකුට සංකීර්ණ ක්‍රියාවලියක් පසු කිරීමට සලස්වා ඇති අතර ඔවුන්ගේ අම්මා, තාත්‍තාගෙ සිට සහෝදරයින්, කලත්‍රයන් මතු පමණක් නොව දරුවන් දක්වා අතිශය පෞද්ගලික තොරතුරු එක් රැස් කරන ආකාරයේ අයදුම් පතක් ලබා දී තිබේ.
වෙබ් අඩවි හිමිකරුවකු යනු කිසියම් වූ මාධ්‍යකරණයක නිරත වන මාධ්‍යකරුවෙකි. මාධ්‍යවේදියකුගේ අතිශය පෞද්ගලික තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බලය යෙදවීමෙන් ලබා ගැනීමට රජයට ඇති අයිතිය කුමක්ද?
අදාළ අයදුම්පතට අනුව වෙබ් අඩවි බලපත්‍රය ඉල්ලුම් කරන පුද්ගලයාට පමණක් නොව ඔහුගේ ඥාතියකුට විරුද්ධව පොලිස් ස්ථානයක පැමිණිල්ලක්, නඩු කටයුත්තක්, ත්‍රස්තවාදී, ආගමික අන්තවාදී, රාජ්‍ය විරෝධී ක්‍රියාවකට සම්බන්ධව සිටියේ ද, නැතහොත් සැක කරනු ලැබ සිටියේද යන්න අදාළ අයදුම්පතෙහි සඳහන් කළ යුතුය.
කිසියම් අපරාධයකට සම්බන්ධ අයෙකු මාධ්‍යකරණයට පිවිසිය හැකිද යන්න තීරණය කිරීම සඳහා අදාළ තොරතුරු එක් රැස් කිරීමේ අරමුණෙන් එම ප්‍රශ්ණ අයදුම්පතට යොමු කළා හැකිය.
අපට ඇති ප්‍රශ්නය එයට පිළිතුරු දීමට නොහැකි වීම නොව මෙරට දෙකෝටි දාහත් ලක්ෂ හැටතුන්දහස් එකසිය හැත්තෑවකට(21,763,170) අධික මහ ජනතාව පාලනය කරන මහජන නියෝජිතයන්ට නාම යෝජනා ලබා දීමේදී මෙම ප්‍රශ්ණ මේ ආකාරයෙන්ම අසනවාද යන්නයි.
එසේ වුවහොත් වර්තමාන ආණ්ඩු හොබවන ජාතික ජන බලවේගයද ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි විය හැක. පාලන ආයතනවලට පත් විය නොහැකි විය යුතුය.
නිදහස් මාධ්‍යකරණය සදහා අවසර ලබා ගන්නා අයදුම්පතකට එවැනි ප්‍රශ්න ඇතුළත් කිරීම සාධාරණ නම් වත්මන් ආණ්ඩු බලය හොබවන මැති ඇමතිවරුන් බොහෝදෙනෙක් ඊට සුදුසු නැත. මන්ද යත් ඔවුන්ට 88-89 කාල සීමාවේ ආණ්ඩු විරෝධී ලෙස හැසිරීම පිළිබඳ බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති බැවිනි. එම ප්‍රශ්න සාධාරණ නම් වත්මන් ජනාධිපතිවරයාද රටේ පළමු පුරවැසියාගේ භූමිකාවට නුසුදුසු වනු ඇත.
වෙන කිසිවක් නොව මෙය සම්පූර්ණයෙන්ම අනාගතයේ තමන්ට එරෙහිව නැගී සිටිය හැකි මාධ්‍ය අඩපණ කිරීම සඳහා ගනු ලැබූ නිර්ලජ්ජී උත්සහයක් පමණි. සියලුම මාධ්‍යන්ගේ රැකවලාවීමට පැමිණි ආණ්ඩුවක් මාධ්‍යට කල්තියා බිය වීම බරපතල දේශපාලන ඇඟවුමක් නොවන්නේද?
Application for the Renewal of the News Casting Web sites – Ministry of Mass Media – Sri Lanka