රෂ්මිකා vs ක්‍රිති! ෂාහිඩ් වෙනුවෙන් ඇරඹෙන ආදර සටන “කොක්ටේල් 2” තුළ 💔😍

(Lakvahini) – ප්‍රේක්ෂකයින් මහත් අපේක්ෂාවෙන් පසු වූ, 2012 වසරේ තිරගත වූ අතිශය ජනප්‍රිය “කොක්ටේල්” (Cocktail) චිත්‍රපටයේ දෙවන පෙළගැස්ම වන “කොක්ටේල් 2” හි නිල ප්‍රචාරක පටය (Trailer) මුම්බායි හි පැවැති උත්සවයකදී නිෂ්පාදකයින් විසින් අඟහරුවාදා (02) නිකුත් කර තිබේ. සුන්දර ඉතාලියේ පසුබිම් දර්ශන කේන්ද්‍ර කරගනිමින්, වර්තමාන සමාජයේ තාරුණ්‍යයේ ආදරය, මිත්‍රත්වය සහ විරහව මුසු වූ සංකීර්ණ ආදර ත්‍රිකෝණයක් මෙමඟින් දිගහැරේ.
 
ප්‍රකට සිනමාකරු හෝමි අදජානියා (Homi Adajania) විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම නවතම සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා බොලිවුඩ් සුපිරි නළු ෂාහිඩ් කපූර් (Shahid Kapoor), ක්‍රිති සැනෝන් (Kriti Sanon) සහ රෂ්මිකා මන්දන්නා (Rashmika Mandanna) රංගනයෙන් දායක වෙති. මිනිත්තු තුනකින් සමන්විත මෙම ප්‍රචාරක පටය, සයිෆ් අලි ඛාන් (Saif Ali Khan), දීපිකා පදුකෝන් (Deepika Padukone) සහ ඩයනා පෙන්ටි (Diana Penty) රංගනයෙන් දායක වූ මුල් චිත්‍රපටයේ අතීත මතකයන් (Nostalgia) නැවත වරක් ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීමට සමත් වී ඇත.
 
ප්‍රචාරක පටය ආරම්භ වන්නේ ෂාහිඩ් කපූර් සිය ආදර ජීවිතය පිළිබඳව හින්දි භාෂාවෙන් පසුබිම් කථනයක යෙදෙමිනි. “ඕනෑම සබඳතාවයක් අලුත් කාලේදී හරිම උද්යෝගිමත්, මොකද ඒක අලුත් නිසා. අලුත් යාළුවෝ මරු, මොකද එයාලගේ කතා අපිට අලුත්,” යනුවෙන් ඔහු පවසයි.
 
චිත්‍රපටයේ කථා පුවතට අනුව, ප්‍රධාන චරිත ත්‍රිත්වය ඉතාලියේදී සිය කාලය ගත කරන ආකාරය දැක්වෙන අතර, ෂාහිඩ් සහ රෂ්මිකා අතර රොමෑන්තික සබඳතාවක් ගොඩනැඟෙද්දී, ඔහුගේ සමීපතම මිතුරිය වන ක්‍රිති ද ඔහු කෙරෙහි ආදර සිතක් ඇති කර ගනී. පසුව එය මිත්‍රත්වයෙන් ඔබ්බට ගිය සංකීර්ණ ආදර ත්‍රිකෝණයක් දක්වා වර්ධනය වන අතර, ප්‍රචාරක පටයේ අවසාන භාගයේදී ක්‍රිති සහ රෂ්මිකාගේ චරිත ෂාහිඩ් වෙනුවෙන් එකිනෙකාට මුහුණ දෙන හැඟීම්බර දර්ශන ඇතුළත් වේ.
 
විශේෂයෙන්ම, 2012 මුල් චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ “Tum Hi Ho Bandhu” ගීතය මෙවර ද ඇතුළත් කර තිබීම ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නැංවීමට හේතු වී තිබේ.
 
දිනේෂ් විජන්, ලව් රන්ජන්, ප්‍රමිතා ආර්. විජන් සහ අන්කුර් ගාර්ග් විසින් නිෂ්පාදනය කර ඇති “කොක්ටේල් 2” හි සංගීත නිර්මාණය ප්‍රීතම් (Pritam) විසින් සිදු කර ඇත. මෙම චිත්‍රපටය එළඹෙන ජුනි 19 වනදා ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතය.

Latest News

error: Content is protected !!