සමාජ මාධ්‍ය විවේචනවලට ඩිස්නිගේ නිහඬතාව බිඳෙයි!

(Lakvahini) – සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ‘Room No 106’ සහ ‘ඒක තමයි මේක’ යන සිනමා නිර්මාණ ද්විත්වය මුල් කරගනිමින් මේ දිනවල දැඩි සමාජ මාධ්‍ය අවධානයකට ලක්ව සිටින රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂ, තම සිනමා දායකත්වය සහ විලාසිතා සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා තිබේ.

පසුගිය වකවානුවේ මෙරට දැඩි ආන්දෝලනයකට ලක්වූ, වේල්ලවීදිය ප්‍රදේශයේ සූට්කේස් එකකින් හමුවූ හිස නැති කාන්තා මළසිරුර පිළිබඳ පුවත පදනම් කරගනිමින් ‘Room No 106’ චිත්‍රපටය නිර්මාණය වී ඇත. එහි ප්‍රධාන චරිතය වන ‘දිනාලි’ නමැති චරිතයට පණ පොවනු ලබන්නේ ඩිස්නි රාජපක්ෂ විසිනි.

මාධ්‍ය දර්ශනයෙන් අනතුරුව චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඕනෑම රංගන ශිල්පියෙකුට තම නිර්මාණය තිරය මත දකින තෙක් පවතින සාභාවික චකිතය තමාටද තිබූ බවත්, අවසාන ප්‍රතිඵලය පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවත්ය.

‘ඒක තමයි මේක’ චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඇය භාවිත කළ ඇඳුම් විලාසිතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල මතුව ඇති කතාබහ පිළිබඳවද ඇය මෙහිදී පැහැදිලි කිරීමක් කළාය. එය කිසිදු පූර්ව සැලසුමකින් තොරව තෝරාගත්, ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන උසස් විලාසිතාවක් (High Fashion) පමණක් බව ඇය අවධාරණය කරයි.

“සමාජ මාධ්‍ය හරහා එල්ල වන ඇතැම් ඍණාත්මක ප්‍රතිචාරවල පදනමක් හෝ හරයක් නැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික ආතතිය සහ ක්‍රෝධය පිට කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් එම විලාසිතාවේ ඇති නැවුම් බව වටහාගත්, ඉහළ ඩ්‍රෙසිං සෙන්ස් (Dress sense) එකක් සහිත පිරිසක්ද අපේ රටේ සිටිනවා.” යැයි ඩිස්නි ප්‍රකාශ කළාය.

දැනට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටින ඇය, මෙම සිනමා පටයේ රූගත කිරීම් සහ හඬකැවීම් කටයුතු සඳහා මෙරටට පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාලයෙන් පවා විශේෂ අවසරයක් ලබාගනිමිනි.

චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය කළමනාකරණයට සහය වෙමින්, ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණීමේ ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු පෞද්ගලිකව දැරීමට ඇය කටයුතු කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ රංගනය තමාගේ ප්‍රධාන ජීවනෝපාය හෝ වෘත්තීය ආදායම් මාර්ගය නොවන බැවින්, සිනමාවට ඇති ඇල්ම සහ ගෞරවය හේතුවෙන් එම පිරිවැය තමා විසින්ම දැරීමට තීරණය කළ බවයි.

Latest News

error: Content is protected !!