(Lakvahini) – රංගන ශිල්පිනී බිම්සරා ප්‍රේමරත්න පවසන්නේ, රොෂාන් රවීන්ද්‍රගේ “නටත් අයෙක් සුරාමතින්” ටෙලිනාට්‍ය සඳහා එක්වීමට තීරණය කිරීමේදී තමන්ට දෙවරක් සිතීමට අවශ්‍ය නොවූ බවයි.
ලක්වාහිනී සමඟ පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ, රොෂාන් රවීන්ද්‍ර සමඟ පෙර සිට පැවති වෘත්තීය සම්බන්ධතාවය සහ ඔහුගේ නිර්මාණාත්මක ක්‍රියාශීලීත්වය මෙම නිර්මාණයට එක්වීමට ප්‍රධාන හේතුව වූ බවයි.
“රොෂාන් අයියා කරන ඕනෑම නිර්මාණයකට ඔහු ගෙනෙන විශේෂ ආකාරය මට ගොඩක් ආකර්ෂණීයයි. ඒ වැඩේ සැහැල්ලුවෙන් සිදු කරනවා වගේ පෙනුණත්, එහි යටිපෙළේ විශාල වටිනාකමක් සහ බරක් තියෙනවා,” යැයි ඇය පැවසුවාය.
බිම්සරා ප්‍රේමරත්න සහ රොෂාන් රවීන්ද්‍ර මීට පෙර “බැද්ද කුලවමිය” ටෙලිනාට්‍යයේ එකට රංගනයේ නිරත වූ අතර, එම අත්දැකීම තමන්ට අතිශය සුන්දර එකක් වූ බව ඇය සිහිපත් කළාය.
ඇය පවසන්නේ, “නටත් අයෙක් සුරාමතින්” නිර්මාණයේදී රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂවරයා මෙන්ම තම ප්‍රධාන සහය රංගන ශිල්පියා ද වූ බැවින්, චරිතය නිරූපණය කිරීමේදී විශාල සහයෝගයක් ලැබුණු බවයි.
මෙම ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතය සමඟ අතීත සබඳතාවක් ඇති කාන්තාවකගේ චරිතයකි. කතාවේ ගලා යෑමත් සමඟ, අතීතයේ වෙන්ව ගිය දෙදෙනා නැවත මුණගැසෙන අතර, ඔවුන් අතර නැවත සමීපතාවයක් ඇතිවිය හැකිද යන්න කතාවේ ප්‍රධාන තේමාවන්ගෙන් එකක් බව ඇය සඳහන් කළාය.
“කලින් නිර්මාණයකත් මම රොෂාන් අයියාගේ පෙම්වතියගේ චරිතයක් කළා. මේ නිර්මාණයේත් ඒ වගේම චරිතයක් ලැබුණ නිසා අපි අතර යම් සමීප බවක් තිබුණා. ඒක රංගනයට ලොකු පහසුවක් වුණා,” යැයි ඇය කියා සිටියාය.
රොෂාන් රවීන්ද්‍ර ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනගාගෙන ඇති විශ්වාසය නිසා ඔහුගේ නිර්මාණවලට දක්ෂ රංගන ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් නිරන්තරයෙන් එකතු වන බවද බිම්සරා ප්‍රේමරත්න පෙන්වා දුන්නාය.
“රොෂාන් අයියාගේ වැඩක් කියන්නේ විශේෂ දෙයක් කියන විශ්වාසය ක්ෂේත්‍රයේ හැමෝටම තියෙනවා. ඒ නිසා මේකේ තව කවුද ඉන්නේ කියලා අහන්න ඕනෙත් නැහැ,” යැයි ඇය පැවසුවාය.
ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, මෙම ටෙලිනාට්‍යය සාම්ප්‍රදායික ටෙලිනාට්‍ය අත්දැකීම්වලින් වෙනස් නවමු අත්දැකීමක් ලබාදෙන බවට විශ්වාස කරන බවයි.
“මේකේ නමෙන්ම දැනෙනවා වගේම, කතාව ඇතුළේත් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තියෙනවා. ප්‍රේක්ෂකයෝ මේක ආදරයෙන් වැළඳ ගනීවි කියලා මම හිතනවා,” යැයි ඇය සඳහන් කළාය.
මෙම නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණයෙන් තිසර තුල්වාන් දායක වන අතර, රොෂාන් රවීන්ද්‍ර සිය අධ්‍යක්ෂණ සහ රංගන වගකීම් සමඟ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අංශයක්ම සම්බන්ධීකරණය කරන ආකාරය විශේෂයෙන් කැපී පෙනෙන බවද ඇය පෙන්වා දුන්නාය.
“නටත් අයෙක් සුරාමතින්” ටෙලිනාට්‍යය සඳහා රසික සුරවීරආරච්චි තිර රචනය සපයන අතර, රොෂාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් සමන්විත මෙම නිර්මාණය, ප්‍රේක්ෂකයන්ට නවමු සහ සංවේදී අත්දැකීමක් ලබාදෙනු ඇතැයි බිම්සරා ප්‍රේමරත්න විශ්වාසය පළ කළාය.
