තාත්තාගේ විරෝධයත් ජයගත් නෙත්මි රොෂෙල්ගේ ආදරණීය ගමන

(Lakvahini) – ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින නිළි නෙත්මි රොෂෙල්, සිය සත් වසරක කලා ජීවිතය තුළ කිසිදු පසුතැවීමකින් තොරව සාර්ථක ගමනක් සනිටුහන් කර ඇති බව පවසයි.

මේ දිනවල විකාශය වන ‘සෝනු මන්දාරා’ ටෙලි නාට්‍යයේ ‘මන්දාරා’ ලෙස ඇය දක්වන රංගනය ප්‍රේක්ෂකයන් අතර දැඩි ආකර්ෂණයකට ලක්ව ඇති අතර, ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන ‘කල්පනා’ සහ ‘එදා රෑ’ යන නවතම චිත්‍රපට ද්විත්වය ද ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබේ.

2019 වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව ක්ෂේත්‍රයට පිවිසි නෙත්මි රොෂෙල්, සිය වෘත්තීය ගමන සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් සිනමාව පිළිබඳව පෙර සැලසුම් සහගත සිහින නොදැක්වුව ද, වසර හතක් වැනි කෙටි කාලයක් තුළ චිත්‍රපට හතක් සඳහා දායක වීමට අවස්ථාව ලැබීම සුවිශේෂී භාග්‍යයක් බවයි. මීට පෙර ඇය රංගනයෙන් දායක වූ ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නිළිය සම්මානය සඳහා ද නිර්දේශ විය.

ආරම්භයේදී ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසීම කෙරෙහි පියාගේ මනාපයක් නොතිබූ නමුත්, ප්‍රවීණ කලාකරුවන්ගේ මැදිහත්වීම සහ පවුලේ සහයෝගය මත ඇය සිය ගමන ශක්තිමත් කරගෙන තිබේ.

“නිර්මාණයකට ඇතුළත් වන දර්ශන, ඇඳුම් පැළඳුම් සහ පිටපත පිළිබඳව මම සැමවිටම සැලකිලිමත් වෙනවා. මට ගැළපෙන සහ ප්‍රේක්ෂකයන්ට මතක හිටින සාධාරණ යමක් කළ හැකි චරිත පමණක් තෝරා ගැනීම මගේ ප්‍රතිපත්තියක්,” යැයි රොෂෙල් සඳහන් කළාය.

ක්ෂේත්‍රය තුළ තමන් උපයාගත් ප්‍රතිරූපය සහ වෘත්තීය ස්ථාවරත්වය පිළිබඳව උපරිම තෘප්තියකට පත්ව සිටින බව පවසන ඇය, මෙම ගමන කිසිදු කලකිරීමකින් තොරව සාර්ථකව ඉදිරියට රැගෙන යාමට ලැබීම පිළිබඳව නිහතමානීව සතුටු වන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Latest News

error: Content is protected !!