මම හැමදාම කෙළින් කතා කරන කෙනෙක්! මහේෂි මධුශංකා කලකට පසු කියපු කතාව

(Lakvahini) – ‘පැහැසරා’, ‘ඡායා’ සහ ‘සැවැන්දරා’ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පිනී මහේෂි මධුශංකා, විදේශගතව සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව සිය නවතම කලා නිර්මාණ දායකත්වය සහ ක්ෂේත්‍රය තුළ තම සෘජු වෘත්තීය ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දක්වා තිබේ.

ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ඔස්සේ මේ දිනවල විකාශය වන, ප්‍රගීත් ද සිල්වා අධ්‍යක්ෂණය කළ සහ සුදත්ත තිලක්සිරි නිෂ්පාදනය කළ ‘දෙයියන්ගේම පිහිටයි’ ටෙලිනාට්‍යය හරහා ඇය නැවතත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණ සිටී. එහි ඇය නිරූපණය කරන ‘සෙව්වන්දි මෑණියෝ’ චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බව සඳහන් කළ ඇය, වත්මන් සමාජය තුළ මිනිසුන් විවිධ මුළාවන්ට පත්වන ආකාරය සහ ඒ පිටුපස ඇති සැබෑ සමාජයීය ගැටලු මෙම නිර්මාණය තුළින් සාකච්ඡාවට බඳුන් කෙරෙන බව ප්‍රකාශ කළාය.

සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව කරුණු දක්වමින් මහේෂි මධුශංකා කියා සිටියේ, ප්‍රවීණ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ සහ චාමර සමරවික්‍රම නිෂ්පාදනය කළ ‘ඇහි පිල්ලමක්’ ටෙලිනාට්‍යය ඉදිරියේදී විකාශනය වීමට නියමිත බවයි. මීට අමතරව, ඇය රංගනයෙන් දායක වූ ‘හනිමූන් ටුමෝරෝ’ චිත්‍රපටයේ වැඩකටයුතු ද මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බැවින්, ඉදිරියේදී ටෙලි තිරය මෙන්ම සිනමාව ඔස්සේ ද ප්‍රේක්ෂකයින් හමුවීමට සූදානමින් සිටින බව ඇය තහවුරු කළාය.

ළමා කාලයේදී ගුවන් සේවිකාවක වීමේ සිහිනයක් පැවතිය ද, වර්තමානයේ ගුවන් නියමුවෙකු සමඟ විවාහ වී සිටින ඇය, පවුල් ජීවිතයේ වගකීම් සහ වෘත්තීය කටයුතු සමබරව පවත්වාගෙන යාම සඳහා තම සැමියාගෙන් සහ මවගෙන් ලැබෙන දායකත්වය කෘතඥපූර්වකව අගය කර සිටියි.

ක්ෂේත්‍රය තුළ තමන් සතු සෘජු ප්‍රතිපත්තිය සහ ප්‍රේක්ෂක ආදරය පිළිබඳව අවධාරණය කරමින් ඇය මෙසේ පැවසුවාය:

“මම ඕනෑම කරුණකදී හැමදාමත් කෙළින් කතා කරන කෙනෙක්. මම විශ්වාස කරන්නේ මගේ රංගනයටත් එහා ගිහින්, මම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන් වෙනුවෙන් සෘජුව හඬ අවදි කරන කෙනෙක් නිසයි ප්‍රේක්ෂකයන් මට මේ තරම් ගෞරවයක් සහ ආදරයක් දක්වන්නේ.”

Latest News

error: Content is protected !!