(Lakvahini) – ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරය දැඩිව ග්‍රහණය කරගත් ‘තණමල්විල කොල්ලෙක්’ නිර්මාණයෙන් පසු, ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර සිය දෙවැනි ටෙලි වෘත්තාන්තය වන ‘නටත් අයෙක් සුරාමතින්’ හරහා නැවතත් සමාජ සංවාදයකට මුලපුරා ඇත. වත්මන් සමාජයේ පවුල් සංස්ථාව මුහුණ දෙන දැඩි බේබදුකම සහ එහි හැලහැප්පීම් වස්තුබීජය කරගත් මෙම නිර්මාණය, මෙගා නාට්‍ය රැල්ල හමුවේ සැබෑ මිනිස් අත්දැකීම් නිරූපණය කිරීමට ගත් සාර්ථක උත්සාහයකි.
ප්‍රවීණ තිර රචක රසික සුරවීරආරච්චිගේ පිටපතකට අනුව හැඩගැසුණු මෙම නිර්මාණය, එහි අධ්‍යක්ෂණය මෙන්ම ප්‍රධාන භූමිකාව (ලද්දූ) ද්විත්ව අභියෝගයම එකවර ජයගත් රොෂාන් රවීන්ද්‍ර සමඟ කළ සුවිශේෂී සාකච්ඡාවකි.
ප්‍රශ්නය: ‘තණමල්විල කොල්ලෙක්’ ලැබූ විශාල සාර්ථකත්වයෙන් පසු, ඔබේ දෙවැනි අධ්‍යක්ෂණය සඳහා මේ වගේ තේමාවක් තෝරාගත්තේ ඇයි?
රොෂාන් රවීන්ද්‍ර: ඇත්තටම ‘තණමල්විල කොල්ලෙක්’ ඉවර වුණාට පස්සේ මගේ බලාපොරොත්තුව තිබුණේ ගුණදාස ලියනගේ මහත්මයාගේ ‘දෝණ කමලාවතී’ කෘතිය නිර්මාණයකට නැඟීමටයි. නමුත් නිෂ්පාදකවරුන්ගේ ගැටලු නිසා අවසාන මොහොතේ ඒ වැඩේ නැවතුණා. ඒක මට ලොකු කම්පනයක්. ඒ මානසික බිඳවැටීමත් එක්ක තමයි නැවතත් පොදු සමාජයට සහ පවුල් පසුබිමට සමීප නිර්මාණයක් කරන්න ඕන කියන අදහස ආවේ.
මගේ සංකල්පය අරගෙන මම රසික සුරවීරආරච්චිව හමුවුණා. අවුරුදු ගණනාවක් තිස්සේ පිටපත ලියමින්, වෙනස් කරමින් කරපු දීර්ඝ සාර්ථක සාකච්ඡාවක ප්‍රතිඵලය තමයි ‘නටත් අයෙක් සුරාමතින්’ කියන්නේ. මෙහි සියයට සීයක්ම පිටපතේ ගෞරවය හිමිවන්නේ රසිකටයි.
ප්‍රශ්නය: එකම නිර්මාණයක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන නළුවා වීම සිනමාකරුවෙකුට ලොකු අභියෝගයක්. ඔබ එය කළමනාකරණය කළේ කොහොමද?
රොෂාන් රවීන්ද්‍ර: වෙනත් අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාද්දී රංගන ශිල්පියෙකුට ලැබෙන පූර්ණ නිදහස කොයිතරම්ද කියලා මට තේරුණේ මේ නිර්මාණයට ආවට පස්සේ. මුල් දවස් කිහිපය මට හරිම ප්‍රායෝගිකව අපහසු වුණා. උදේ පාන්දර රූගත කිරීම් බිමේ මතුවන නිෂ්පාදන ගැටලු, දවල් වෙද්දී මගේ රංගන නිදහසට බාධා කළා.
“අධ්‍යක්ෂණය සහ රංගනය එකට කරගෙන යෑමේදී පළමු ෂොට් එකෙන්ම සාර්ථක වෙච්ච අවස්ථා අඩුයි. නැවත නැවත කරලා තමයි හොඳම රංගනය මතු කරගත්තේ. දැන් මට ඒ අත්දැකීම තියෙනවා.”
ප්‍රශ්නය: වර්තමානයේ රූපවාහිනී නාලිකා ආක්‍මණය කර ඇති ‘මෙගා’ නාට්‍ය රැල්ල සහ එහි ගුණාත්මකභාවය ගැන ඔබේ අදහස මොකක්ද?
රොෂාන් රවීන්ද්‍ර: ලංකාවේ මෙගා නාට්‍ය රැල්ල ආරම්භ වුණේ ඉන්දියානු නාට්‍ය ආනයනය කර පෙන්වීමත් එක්කයි. ඊට අභියෝගයක් විදිහට දේශීය මෙගා නාට්‍ය හැදුණත්, රංගන දැනුමක් නැති, ජනප්‍රියත්වය විතරක් තියෙන පිරිස් යොදාගැනීම නිසා සමස්ත කර්මාන්තයම කඩාවැටුණා.
මම මේ ගැන වගකිවයුතු අයට අවස්ථා කිහිපයකදීම පැහැදිලි කරන්න හැදුවා, නමුත් කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. මම පුද්ගලිකව මගේ නිර්මාණවලින් ජයග්‍රහණය කරලා තිබුණත්, සමස්ත කර්මාන්තයක් විදිහට අපි තවම ඉන්නේ පරාජිත තැනක. මම ආයෙමත් ටෙලි නාට්‍ය කරන්නේ නැහැ. මම මගේ අවසාන සටන දක්වාම හුදකලාව සටන් කළා. රූපවාහිනී මාධ්‍ය කියන්නේ මිනිස්සු ඉල්ලන දේ දෙන තැනක් නෙවෙයි, මිනිස්සුන්ගේ රසවින්දනය උසස් තැනකට ගෙනියන්න ඕන මාධ්‍යයක්.
ප්‍රශ්නය: විචාරකයින් පවසනවා ඔබ චරිත නිරූපණය කරන්නේ නැහැ, ඒ චරිත ඇතුළේ ජීවත් වෙනවා කියලා. ඒ වගේම සිනමාව ගැන ඔබේ තක්සේරුව මොකක්ද?
රොෂාන් රවීන්ද්‍ර: ඉස්සර විචාරකයෝ කිව්වා “රොෂාන් රඟපාන්නේ නැහැ, රඟ නොපා ඉන්න එක රංගනය නෙවෙයි” කියලා. හැබැයි මම රඟපෑ ‘සහෝදරයා’, ‘වීරයා ගෙදර ඇවිත්’, ‘දස්කොන්’, ‘බැද්දේ කුලවමිය’ සහ ‘නටත් අයෙක් සුරාමතින්’ චරිත දිහා බැලුවොත් ඒ හැම තැනකම ඉන්නේ එකිනෙකට වෙනස් මිනිස්සු. ඒ හැම තැනම තියෙන්නේ මගේ ස්වාභාවික රංගනයයි. චරිත ඇතුළේ රොෂාන්ව පේනවා නම් තමයි මගේ අසාර්ථකභාවය.
සිනමාව ගැන කතා කළොත්, සිනමාවේ තවම මට සතුටු වෙන්න පුළුවන් චරිතයක් ලැබිලා නැහැ. මට ‘පේරේත හිතෙන’ (දැඩි ආසාවක් හිතෙන) චරිතයක් තවම කවුරුත් ලියලත් නැහැ, කරලත් නැහැ. අපේ සිනමාව මීට වඩා වෙනස් විය යුතුයි. අපිට තියෙන මුදලට චිත්‍රපට හදනවාට වඩා, චිත්‍රපටයට අවශ්‍ය කරන නියමිත මුදල වියදම් කරලා නිර්මාණ කරන්න පුළුවන් දවසට මේ කර්මාන්තය මීට වඩා ලස්සන වේවි.
