(Lakvahini) – ‘රිදම් ඔෆ් ද ගිටාර්’ සිනමාපටයෙන් මෙරට ප්‍රේක්ෂක අවධානය දිනාගත් නිහාරි පෙරේරා, මේ දිනවල තිරගත වන ‘සූරිය සුළඟ’ චිත්‍රපටය හරහා නැවතත් කතාබහට ලක්ව සිටී. ඇය සිනමා නිළියක පමණක් නොව, ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ජාතික මට්ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවකි. කලා ක්ෂේත්‍රයේ කාර්යබහුලත්වය හමුවේ වුවද, තමා කිසිසේත් ක්‍රීඩාවෙන් ඉවත් නොවන බව ඇය පවසයි.
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වන්නේ ‘තරුෂි’ නමැති ආදරණීය, එහෙත් අතිශය සංවේදී තරුණියකගේ චරිතයකටයි. සිය රංගන අත්දැකීම් විස්තර කරමින් නිහාරි ප්‍රකාශ කළේ මෙය තමාට විශාල අභියෝගයක් වූ බවයි.
“තරුෂි කියන්නේ හරිම ඉමෝෂනල් කැරැක්ටර් එකක්. ඒ වෙනුවෙන් මුළු දවසම අඬපු, මුහුණ ඉදිමෙනකම් අඬන්න වුණු අවස්ථා තිබුණා. සමහර වෙලාවට මට බ්‍රේක් එකක් ගන්න පවා සිද්ධ වුණා.”
ඇය පවසන පරිදි, ප්‍රධාන නළු මේඝ සූරියආරච්චිගෙන් ලැබුණු වෘත්තීයමය සහයෝගය මෙම දුෂ්කර චරිතය සාර්ථක කර ගැනීමට විශාල ශක්තියක් වී ඇත.
රංගනයට පිවිසීමට පෙර නිහාරිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන්ව තිබුණේ පැසිපන්දු ක්‍රීඩාව වෙනුවෙනි. යූත් ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති ඇය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලි රැසක් නියෝජනය කර ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.
ඇය තවමත් ජාතික පැසිපන්දු සංචිතයේ (National Pool) සාමාජිකාවක ලෙස කටයුතු කරයි. සිනමා කටයුතු නිසා පසුගිය කාලයේ විදේශ තරග සංචාර කිහිපයක් මගහැරුණ ද, ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමේ කිසිදු අදහසක් නොමැති බව ඇය ස්ථිරවම ප්‍රකාශ කළාය.
කෙටි කාලයක් තුළ සිනමා නිර්මාණ කිහිපයකටම දායක වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන නිහාරි, ඉදිරියේදී තිරගත වීමට නියමිත තවත් චිත්‍රපට හතරක ප්‍රධාන භූමිකාවන්ට පණ පොවා ඇත. ටෙලි නාට්‍ය සහ වේදිකාව සඳහා ද ආරාධනා ලැබුණද, සිනමාවට සහ ක්‍රීඩාවට මුල්තැන දීම සඳහා ඇය සිය කාලය කළමනාකරණය කරගන්නා බව පවසයි.
“මට රඟපාන්න පුළුවන්තාක් කල් සිනමාවට උපරිම දේ දෙනවා. ඒ වගේම ක්‍රීඩාව නවත්තන්නෙත් නැහැ. මම මේ ක්ෂේත්‍ර දෙකේම ඉදිරියටත් සමබරව වැඩ කරනවා,” යැයි නිහාරි පෙරේරා විශ්වාසයෙන් යුතුව කියා සිටියි.
