පාස්කු විමර්ශන උණුසුම් වෙයි! අත්අඩංගුවෙන් බේරෙන්න ගෝඨාභය අභියාචනාධිකරණයට

(Lakvahini) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන අපරාධ පරීක්ෂණවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පසුගිය ජූනි 3 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකු සඳහා විදේශ ගමන් තහනමක් පැනවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

තමාට එරෙහිව එවැනි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍ය වාර්තා මඟින් දැනගත් බව පෙත්සමේ සඳහන් වන අතර, ඒ හේතුවෙන් තම පුද්ගලික නිදහස අහිමි වීමේ හෝ අත්අඩංගුවට පත්වීමේ සැබෑ අවදානමක් පවතින බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි හිටපු ජනාධිපතිවරයා පවසයි.

පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන රාජපක්ෂ මහතා, එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශන ආයතනයක් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව ද සඳහන් කර ඇත. කෙසේ වෙතත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවද ඔහු පෙන්වා දෙයි.

පෙත්සමේ තවත් කරුණක් ලෙස දක්වා ඇත්තේ, තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම මඟින් ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබූ බවයි.

එම පසුබිම හේතුවෙන් පාස්කු ප්‍රහාර විමර්ශන මෙහෙයවන ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කරන ශානි අබේසේකර මහතා තමන් කෙරෙහි වෛරී හෝ පක්ෂග්‍රාහී ආකල්පයකින් කටයුතු කිරීමේ හැකියාවක් පවතින බව රාජපක්ෂ මහතාගේ පෙත්සමේ සඳහන් වේ. එබැවින් විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, තමන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමේ අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ චැනල් 4 නාලිකාවට අසාද් මව්ලානා සිදු කළ ප්‍රකාශවලින් අනතුරුව පත් කළ විමර්ශන කොමිසමේ වාර්තා අධිකරණය හමුවට කැඳවන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු හෝ අදාළ කොමිෂන් වාර්තා කිසිවකින් තමන්ට එරෙහිව චෝදනාවක් එල්ල වී නොමැති බව සඳහන් කරන රාජපක්ෂ මහතා, මෙම පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම හෝ නිදහස සීමා කිරීම වැළැක්වෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේදී කරුණු සලකා බැලීමට නියමිතය.

Latest News

error: Content is protected !!