මළ ගෙදර රහස් කාමරයක පැයක සාකච්ඡාවක්! අනුරයි චන්ද්‍රිකායි මොනවද කතා කළේ?

(Lakvahini) – ඔන්න දේශපාලන කරළිය උණුසුම් කරන්න පුළුවන් කතාවක් අද අපි අරගෙන ආවේ. මේක සිද්ධ වෙන්නේ කණගාටුදායක පසුබිමක් මැද්දේ. ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ 24 හැවිරිදි පුත්‍රයාගේ අභාවයත් සමඟ බොහෝ දේශපාලනඥයන්, නීතිඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්රැස් වූ අවස්ථාවකයි මේ සිදුවීම වාර්තා වෙන්නේ.

සෙනසුරාදා (13) රාත්‍රි 9.00 පමණ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් ශෝකය පළ කිරීම සඳහා එම නිවසට පැමිණියා. හැබැයි ඒ පැමිණීම සාමාන්‍ය එකක් වුණේ නැහැ කියලා තමයි එතන හිටපු අය කියන්නේ.

අනුර මහතා නිවසට ඇතුළු වෙලා උපුල් කුමාරප්පෙරුම මහතාට සහ පවුලේ සාමාජිකයින්ට ශෝකය පළ කරලා, නිවසේ පැත්තක තිබුණු විශේෂ කාමරයක් වෙත ගියාලු. ඔන්න එතන තමයි කතාවේ හොඳම කොටස.

මොකද ඒ කාමරයේ ඒ වෙනකොටත් හිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. ඉතින් දෙන්නා අතර සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. ඒ සාකච්ඡාව විනාඩි කිහිපයකින් ඉවර වුණේ නැහැ. වාර්තා වන විදිහට පැයකට ආසන්න කාලයක් එය පැවතිලා තියෙනවා.

කාමරය ඇතුළේ අනුර කුමාර, චන්ද්‍රිකා කුමාරතුංග, නලින්ද ජයතිස්ස, අනිල් ජයන්ත සහ සුනිල් වටගල ඇතුළු පිරිසක් රැඳී සිටි අතර, එළියේ හිටපු බොහෝ දෙනාගේ කුතුහලය වුණේ “ඇතුළේ මොනවද මේ කතා වෙන්නේ?” කියන එක.

ඒ අතරතුර එළියේත් දේශපාලන කතා රැසක් ඇවිළිලා තිබුණා. උපුල් කුමාරප්පෙරුම මහතාගේ දේශපාලන ගමන, මාලිමාව ගොඩනැගීමේදී ඔහු කළ භූමිකාව, පාර්ලිමේන්තුවට නොපැමිණීමට හේතු වුණ කාරණා වගේම වර්තමාන දේශපාලන අභ්‍යන්තර අර්බුද ගැනත් විවිධ අදහස් හුවමාරු වෙමින් තිබුණා.

කෙසේ වෙතත්, කාමරය ඇතුළේ සිදුවූ සාකච්ඡාවේ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ නිසාම දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබෙන්නේ, අනුර සහ චන්ද්‍රිකා අතර එදින පැවති එම දීර්ඝ සංවාදයේ සැබෑ අන්තර්ගතය කුමක්ද යන්නයි.

පැයකට ආසන්න කාලයකට පසු ජනාධිපතිවරයා කාමරයෙන් පිටතට පැමිණි අතර, එතැන් සිට පැමිණ සිටි පිරිස සමඟ කෙටි අදහස් හුවමාරු කරගනිමින් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

ඉතින් ඇත්තටම ඒ කාමරයේ කතා වුණේ ශෝකය පමණක්ද? නැත්නම් දේශපාලනයේ අලුත් පරිච්ඡේදයක මුල් පිටුව එතනදී ලියවුණාද? ඒක නම් තවමත් දන්නේ ඒ කාමරය ඇතුළේ හිටපු අය විතරයි.

Latest News

error: Content is protected !!