කිරුළට තව දින කිහිපයයි! Miss Universe Sri Lanka 2026 අවසන් සටන උණුසුම් වෙයි

(Lakvahini) – මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, විවාහක අවිවාහක භේදයකින් තොරව කාන්තා සවිබල ගැන්වීම තේමා කරගත් ‘මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2026’ (Miss Universe Sri Lanka 2026) අවසන් මහා තරඟය එළඹෙන ජුනි 23 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවිධායකයෝ පවසති.

පූර්ව වට රැසකින් අනතුරුව මෙවර අවසන් මහා තරඟය සඳහා තරඟකාරිනියන් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් අතර සාම්ප්‍රදායික රූප රාජිණී තරඟ රාමුවෙන් ඔබ්බට ගිය විවිධ වෘත්තීය සහ පෞද්ගලික පසුබිම් සහිත දක්ෂ තරුණියන් මෙන්ම මාතාවන් ද පසුවීම මෙවර තරඟාවලියේ සුවිශේෂී ලක්ෂණයක් වී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා උපාධිය හදාරන 20 හැවිරිදි ජෙස්මීන් මල්ෂානි ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර වේදිකාවක රට නියෝජනය කිරීම සිය ළමා කාලයේ පටන් පැවති සිහිනයක් බවයි. ක්ෂේත්‍රයට නවකයෙකු වුව ද, මෙම මාස කිහිපය තුළ ලැබූ පුහුණුව තමාගේ සන්නිවේදන හැකියාව සහ පෞරුෂය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බව ඇය පැවසුවාය. කිරුළ හිමිවුවහොත් ග්‍රාමීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ සෞඛ්‍ය අංශයේ දියුණුව උදෙසා සමාජීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇයගේ මූලික අරමුණ වී තිබේ.

විවාහයෙන් හෝ මාතෘත්වයෙන් පසු කාන්තාවන් සිය සිහින අත්හැරිය යුතු නැති බව ප්‍රායෝගිකව ඔප්පු කරමින් මෙවර තරඟ බිමට පිවිසි දෙදරු මවක වන දීර්ඝාණි, සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ටම ආදර්ශයක් සපයයි. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවෙකු ඇතුළු සිය දරුවන් දෙදෙනාගේ කටයුතු සහ නිවසේ වගකීම් මධ්‍යයේ ඇය මෙම තරඟාවලියට එක්ව සිටින්නීය. “බොහෝ දෙනෙක් හිතනවා විවාහයෙන් පස්සේ සිහින අවසන් කියලා. නමුත් දැඩි කැපවීම සහ පවුලේ සහයෝගය තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමන්ගේ ඉලක්ක කරා යන්න පුළුවන්,” යැයි පවුලේ සහ මවගේ සහයෝගය අගය කරමින් ඇය සඳහන් කළාය.

වේදිකා භීතිකාව සහ ජනතාව ඉදිරියේ කතා කිරීමට තිබූ බිය ජයගනිමින් අවසන් වටයට පිවිසි ටයිනි නැමැති තරඟකාරිනිය අවධාරණය කළේ, මිස් යුනිවර්ස් වේදිකාව තරඟකාරීත්වයට වඩා සහෝදරත්වයක් සහ අන්‍යෝන්‍ය සහයෝගයක් අත්දැකීමට සැලැස්වූ ස්ථානයක් වූ බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ක්ෂේත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විවිධ මත පිළිබඳව අදහස් දක්වමින් තරඟකාරිනියන් ප්‍රකාශ කළේ, මෙවර තරඟාවලිය සංවිධානය කිරීමේදී කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කර ඇති බවයි. විශේෂයෙන්ම ජාතික අධ්‍යක්ෂ නිර්මාල් බණ්ඩාර සහ ප්‍රාදේශීය අධ්‍යක්ෂ නතාෂා රේන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ වෘත්තීයමය මඟපෙන්වීම සහ පුද්ගලික මැදිහත්වීම හේතුවෙන් බියකින් තොරව තම දක්ෂතා දැක්වීමට අවස්ථාව ලැබුණු බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

ආරම්භයේදී තරඟකාරිනියන් 45 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම රූප රාජිණි තරඟාවලිය, සෙමි ෆයිනල් වටයෙන් අනතුරුව මේ වන විට අවසන් තරඟකරුවන් 26 දෙනෙකු දක්වා සීමා වී තිබේ.

එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව නියෝජනය කරන ‘මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2026’ කවුදැයි තීරණය වීමට නියමිතය.

Latest News

error: Content is protected !!