(Lakvahini) – ශ්‍රී ලංකාවේ ජන සමාජය දැඩි ලෙස සසල කළ, කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක දමා ගොස් තිබූ ගමන් බෑගයකින් හිස නොමැති කාන්තා මළසිරුරක් හමුවීමේ සත්‍ය සිදුවීම පාදක කරගනිමින් නිර්මාණය වූ ‘Room no 106’ (කාමර අංක 106) සිනමාපටය එළඹෙන ජුනි 26 වැනිදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිත බව චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම නිවේදනය කරයි.
පැය 2යි විනාඩි 09ක ධාවන කාලයකින් යුත් මෙම සිනමාපටය, අධ්‍යක්ෂ සුරංග ද අල්විස් මහතාගේ හයවන සිනමා අධ්‍යක්ෂණයයි. මීට පෙර ‘රජ හොරු’ (2013), ‘මයි නේම් ඊස් බන්දු’ (2015), ‘හොරා පොලිස්’ (2016), ‘ද ගේම්’ (2022) සහ ‘ඒක තමයි මේක’ (2026) වැනි සිනමාපට රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කළ ඔහු, මෙරට චිත්‍රපට ඩී.වී.ඩී. කරණයේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රකට නිෂ්පාදකයෙකු ද වේ.
වසර කිහිපයකට පෙර මෙරට ප්‍රධාන පුවත් මවමින් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම ඛේදවාචකය සිනමාවට නැගීමේදී, මියගිය හෝ ජීවතුන් අතර සිටින කිසිදු පාර්ශවයකට හානියක් නොවන පරිදි සැබෑ නම් ගම් සහ සමහර සිදුවීම් වෙනස් කර ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි. චිත්‍රපටයේ නාට්‍යමය අවශ්‍යතාව වෙනුවෙන් නව චරිත සහ සිදුවීම් කිහිපයක් ද මීට ඇතුළත් කර ඇත.
චිත්‍රපටයේ වස්තු විෂය ගොඩනැගෙන්නේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු, විවාහක තිදරු පියෙකු වන පුලස්ති සහ ඔහුට වඩා වසර විස්සකින් පමණ බාල දිනාලි නම් තරුණිය අතර ඇතිවන අසම්මත ආදර සබඳතාවක් වටාය. කුඩා කලදීම පියා අහිමි වූ දිනාලි, පුලස්ති වෙතින් පියෙකුගේ සෙනෙහස අපේක්ෂා කරන අතර, ඔවුන් අතර පවතින සබඳතාව ක්‍රමයෙන් ව්‍යාකූල තත්ත්වයකට පත්වේ. පුලස්තිව තමා සතු කර ගැනීමට දිනාලි දරන උත්සාහය සහ ඊට පුලස්ති දක්වන අකමැත්ත මත ඇතිවන ගැටුම, අවසානයේ හෝටල් කාමරයක් තුළදී සිදුවන බිහිසුණු අපරාධයකින් කෙළවර වන ආකාරයත්, ඉන් අනතුරුව ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ සහ පවුල් පසුබිම මුහුණ දෙන ඛේදවාචකයත් චිත්‍රපටය තුළින් විමර්ශනය කෙරේ.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයන් වන පුලස්ති සහ දිනාලි ලෙස පිළිවෙලින් ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සහ ඩිස්නි රාජපක්ෂ රංගනයෙන් දායක වෙති. මීට අමතරව ෂ්‍යාම් ප්‍රනාන්දු (එස්.එස්.පී. රණබාහු), ධනංජය සිරිවර්ධන (ඕ.අයි.සී. සහන්), දමිතා අබේරත්න (පුලස්තිගේ බිරිඳ), ප්‍රියන්ත සිරිකුමාර, නයෝමි තක්ෂිලා, ජීවන් සප්තරංග සහ කළණ ගුණසේකර ඇතුළු ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රැසක් මෙහි සෙසු චරිත නිරූපණය කරති. සාක්‍යා හැරිස්, නිපුණි ශෂිප්‍රභා ඇතුළු නවක ශිල්පීන් පිරිසක් ද මෙමඟින් සිනමාවට හඳුන්වා දී ඇත.
ප්‍රබෝධිත් ජයකොඩි, ඉමාෂා සේනාධීර, රාජිකා ජීවන්ති, සංඛ දිනෙත්, ප්‍රවීන් ජයරත්න, මිලාන් සුරේෂ් සහ ඒ.ඒ.පී. පුෂ්පරාණි එක්ව ‘කාමර අංක 106’ නිෂ්පාදනය කර ඇති අතර, තිර රචනය සුනෙත් මාලිංග ලොකුගහේවා විසින් සිදුකර ඇත. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්න විසින් සිදුකර ඇති අතර, සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය සංඛ දිනෙත් විසින් ද, ගී පද රචනය ඉසුරු වීරසිංහ මුදලි සහ දුල්හාරි ඉලංගකෝන් විසින් ද සිදුකර තිබේ. කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක මහතා දායක වී ඇත.
රාගය, ආදරය සහ මිනිස් සබඳතාවල පවතින සංකීර්ණත්වය මෙන්ම සමාජයට ප්‍රබල පණිවිඩයක් රැගෙන එන ‘Room no 106’ සිනමාපටය ළඟදීම දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
