ඉන්දියාව අල්ලපු යොහානි යුරෝපෙත් හොල්ලයි

0

අපේ තරුවක් වුණත් අපට විතරක් අයිති තරුවක් නොවුණ යොහානි ද සිල්වා ඇගේ ලොව වටා සංගීත චාරිකාවේ තවත් සන්ධිස්ථානයකට ළඟා වී තිබෙනවා.

ඒ බටහිර ගීයක් ගායනා කරමින්. ලෝක ප්‍රසිද්ධ රුමේනියානු ගායකයෙක් වෙන එඩ්වඩ් මායා (Edward Maya) සමඟ නිකුත් කළ මේ අලුත්ම ගීයටත් ලෝකය පුරා මිලියන ගණනින් ප්‍රතිචාර ලැබෙමින් අරන්.

මේ ඒ ගැන යොහානි කියන කතාව.

යොහානිගේ අලුත් වැඩේ ගැන කතා කරලා ඉමු.
ඔව්. මීට දින කිහිපයකට කලින් මම රුමේනියානු සංගීතඥ එඩ්වඩ් මායා එක්ක කරපු ‘Diamonds ‘ කියන ගීතය එළිදැක්වුණා. ඔහු ‘Stereo Love, This is my love’ වගේ ගීත හරහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් ගායකයෙක්. ඉතින් ඔහු වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණ එක ලොකු සතුටක්.

ඔහු එක්ක වැඩක් කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ඩිලන්ජන් සෙනෙවිරත්න මගේ කළමනාකාරවරයා, එඩ්වඩ් මායාගේ ටීම් එකත් එක්ක තිබුණු සාකච්ඡා කිහිපයකින්පස්සේ තමයි මේ අවස්ථාව ලැබුණේ. ඔහු පළවෙනියට එවල තිබුණු ට්‍රැක් එක මගේ හිතට ඒ තරම් හරි ගියේ නෑ. පස්සෙ ඔහු වෙනස්කම් කිහිපයක් කරලා හොඳ ට්‍රැක් එකක් හැදුවා.

මේ ගීතයට සිංහල වචන කිහිපයකුත් ඇතුළත් නේද?
මුලදී ඔවුන් හදපු සින්දුවට සිංහල වචන ඇතුළත් වුණේ නැහැ. පස්සෙ ඩිලන්ජන් ඔවුන්ට කතා කරලා අපේ වචනත් ඇතුළත් කරන්න ඕන කියලා යෝජනා කළා. පස්සේ ඔවුනුත් ඒ යෝජනාවට එකඟ වුණා. මේ ගීතයේ සිංහල වචන ලිව්වෙත් ඩිලන්ජන්.

එතකොට එහෙට ගිහින් එඩ්වඩ් මායා මුණගැහිලා එහෙමද මේ ගීතය කළේ?
ඇත්තටම මට ඔහුව මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔන්ලයින් තාක්ෂණය හරහා තමයි අපි මේ ගීතය කළේ.

ඉතින් සින්දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජාත්‍යන්තර වශයෙනුත් සිංදුව ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. එඩ්වඩ් මායා ලංකාවට ඇවිල්ලා සංගීත ප්‍රසංග කරනවා. ඉතින් ලංකාවෙත් ඔහුට ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ අයගෙනුත් මේ සින්දුවට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

බටහිර සංගීත ක්ෂේත්‍රයට අඩිය තියන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
මීට කලිනුත් මම ඉංග්‍රීසි සිංදු කරලා තියෙනවා. බටහිර සංගීතය පැත්තට යන එක මට තිබුණු සිහිනයක්. මේ සාර්ථක වුණේ ඒකේ එක කොටසක් විතරයි. ඉස්සරහට මේ වගේ වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.

‘කෙල්ල’ සහ ‘නුයි ළඟටත් හොඳ ප්‍රතිචාර තිබුණ නේද?
ඔව්. මම ගීත ඇල්බමයක් රිලීස් කළේ අවුරුදු දෙකකට පස්සේ. ‘කෙල්ල’ කියන ගීත ඇල්බමයේ ‘කෙල්ල’ සහ නුඹ ළඟ කියන සිංදු දෙක විතරයි තාම රිලීස් කරේ. අනිත් ගීත ටිකත් ඉදිරියේදී රිලීස්
කරනවා.

‘කෙල්ල’’ ගීතයේ තිබුණ සමහර වචනවලට ඇතැමුන් දොස් කිව්වා. යොහානි විවට හිත රිද්ද ගත්තද?
මම හිත රිද්ද ගත්තේ නැහැ. මොකද ඒ වගේ හිත් රිද්දන මිනිස්සු ගැන තමයි ඒ සින්දුවෙන් කියන්නේ පිරිසක් ඒ සිංදුවට කැමති වුණා. තව පිරිසක් අකමැති වුණා. සින්දුවකට කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි ඒ අයට අයිතිය තියෙනවා.

යොහානි ඉන්දියාව දාලා ආවේ තවදුරටත් එහෙ වැඩ නැති නිසා කියලත් සමහරු කියනවා.
(සිනාසෙමින්) මම ලංකාවට ආවේ ‘කෙල්ල’ ගීත ඇල්බමය රිලීස් කරන්න. මම ඉන්දියාවේ T – series එක්ක පටන් ගත්තු වැඩ තාම ඉවර නැහැ. ඒ නිසා ආයෙත් ඉන්දියාවට යනවා. ඉන්දියාවේ විතරක් නෙමෙයි මම ඩුබායි සංගීතවලත් වැඩ කරනවා.රටවල් තුනක වැඩ කරන එක ඒ තරම් ලේසි නැහැ.

ඔබේ සාර්ථකත්වයට ඔබ අදින පලදින විදිහත් හේතු වුණාද?
ඔව් ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මම ඉස්සර ඉඳලම ෆැෂන් වලට ආස කෙනෙක්. ‘Lovi ceylon’ කියන බ්‍රෑන්ඩ් එක තමයි දැන් මම කැමති විදිහට ඇඳුම් හදලා දෙන්නේ.

හැබැයි යොහානි අදින පලදින විදිහට ලංකාවේ සමහර අය කැමති නැහැ.
මම අඳින පලඳින විදිහට බනින පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. මම අඳින විදියට බනිනවා. මගේ සින්දු වලට බනිනවා. මගේ පෞරුෂයට බනිනවා. ඒවා ඉතිං අපිට නවත්තන්න බැහැ. නවත්තන්න ඕනෙත් නැහැ.

ඉස්සර ගායකයන්ගේ සින්දු අපි අදටත් අහනවා. හැබැයි දැන් හැදෙන සින්දුවලට පැවැත්මක් නෑ. මේකට හේතුව මොකක් කියලද යොහානි පෞද්ගලිකව හිතන්නේ?
මෙහෙමයි. පරම්පරාවෙන් පරම්පරාවට අපේ සින්දු වල හැඩයන් වෙනස් වෙනවා.දැන් අවුරුදු 10ක කෙනෙක් අහන සින්දු නෙමෙයි අවුරුදු 60 කෙනෙක් අහන්නේ. හැබැයි අපි පොඩි කාලේ අහන සිංදු අපේ ඔළුවේ රැඳෙනවා වැඩියි. සමහර වෙලාවට අපි සිංදුව මනින්නෙත් එතනින්. මම වුණත් දැන් අහන සිංදුවලට වඩා පොඩි කාලේ අහපු සින්දු වලට කැමතියි. හැබැයි දැන් ඉන්න පොඩි අය පරණ සින්දු දන්නේ නැහැ. ඒ අය ලොකු වුණාම අහන්නේ අපි දැන් අලුත් කියලා කියන සිංදු. මොකද ඒ අය පරණ සිංදු කියලා කියන්නේ ඒවටනේ.

වින්ඩි ගුණතිලකගේ ‘අයියෝ සාමි’ ගීතයට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
ලාංකියකයන් විදිහට ලංකාවේ නම යහපත් විදිහට ජාත්‍යන්තරයට යන ඕනෙම තැනකදී අපි සතුටු වෙන්න ඕන. ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන යන දක්ෂ පිරිසක් අපිට ඉන්න එක ගැන ලොකු සතුටක්, ආඩම්බරයක් තියෙනවා.

අවසාන වශයෙන් යොහානිගේ පෙම්වතා ගැනත් අපිට කියන්නකෝ.
(සිනාසෙමින්) මට තාම පෙම් වතෙක් නැහැ. පෙම්වතෙක් මුණ ගැහුනහම ඒ ගැන කියන්නම්කෝ

සෙව්වන්දි හෙට්ටිආරච්චි (Monara)