නටන්න බැරි විප්ලවයකින් වැඩක් නැති බව මතක් කළ කොට්ටහච්චි

0

‘If i can’t dance, I don’t want part to be your revalution’ ‘මට නටන්න බැරි නම් මම ඔබේ විප්ලවයේ කොටස්කරුවෙක් වෙන්න කැමති නැහැ.’

මෙම උපුටා දැක්වීම එන්නේ 1931 දී එමා ගෝල්ඩ්මන් විසින් කරපු “Living My Life” යන ස්වයං චරිතාපදානයේ.

වරක් තරුණ පිරිමි ළමයෙකු මුණ ගැහුණු විට, ඇගේ නර්තන දැක්වීමක් සම්බන්ධයෙන් ඔහු ඇයට චෝදනා කළා. “අරාජිකවාදය ප්‍රවර්ධන කරන්නියක් විදියට ඔය නැටුම ඔයාට ගැළපෙන්නෙ නෑ” කියා ඔහු ඇයට කිව්වා. ලස්සන පරමාදර්ශයක් සඳහා, අරාජිකවාදය සඳහා, සම්මුතියෙන් සහ අගතීන්ගෙන් නිදහස් වීම සහ නිදහස සඳහා පෙනී සිටීම සඳහා, ජීවිතය සහ ප්‍රීතිය ප්‍රතික්ෂේප කළ යුතු යැයි මම හිතන්නෙ නෑ.

මං ඔහුට කිව්ව “මට නටන්න බැරි නම් මට ඔබේ විප්ලවයේ කොටස් කරුවෙකු වීමට අවශ්‍ය නැහැ” කියලා.

ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිනියක් වෙන නිලන්ති කොට්ටහච්චි ගේ වෛරල් වෙන නැටුමට නිර්දය විවේචන එල්ල කරන අය එමාගෙ මේ ප්‍රසිද්ධ කියමන අහල නැතුව ඇති. එක්කො අහලත් ඇති. කොහොම වුණත් ඒ අයගෙන් මට පේන්නෙ එමාගෙන් නටන එක ඔයාට හොඳ ද කියල ඇහුව මෝඩ තකතීරු පිරිමි ළමයව.

එහෙම නොවෙන කෙනෙක්ට පාර්ටියක අතිශය විනෝදෙන් ඉන්න වෙලාවක ලාබාල තරුණ ගැහැණු ළමයෙකු විදියට යහළුවකු සමඟ සතුටින් ඉපෙලමින් නැටීම ප්‍රශ්ණයක් වෙන්න විදියක් නෑ. එහෙම ප්‍රශ්ණයක් වෙන්න ඇය නැටුවේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව මැදත් නෙවෙයිනේ.

ජනතා විමුක්ති පෙරමුණ රැඩිකල් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් කියල අපි තුළ තියෙන විශ්වාසය විසින් පක්ෂයේ ලීඩර්වරු සහ කාඩර්වරුන් අපි මනසේ ඇඳ ගන්නා ස්වරූපය අනුව ඔවුන් අපිට ඕන විදියට කන්න බොන්න අඳින්න ඕන කියලා අපිට හිතෙනවා. වසර 30 කට 40 කට පස්සෙත් අපි ආසයි ඔවුන් ඝන කැලෑවල් ඇතුළෙ හැංගිලා ගස් ගල් යට බඩගානව දකින්න. කන්න බොන්න නැතිව වේලෙනව දකින්න. ගස් උඩ නිදාගන්නව දකින්න.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් පරමාදර්ශයන්ට අනුව ඉතිහාසය පුරාම එහි නායකයොත් ඔවුන්ගෙන් සමාජය ඉල්ලන මේ ජීවිතය නඩත්තු කරන්න විශාල පරිශ්‍රමයක් දරනව කියලයි මට හිතෙන්නේ. තවමත් බොහෝ නායකයින් ජීවිත ගත කරන්නෙ කැරැල්ල කාලේ තරම්ම අප්‍රකටව. නායකයින් බොහෝ දෙනෙක්ගේ පෞද්ගලික ජීවිත සැඟවුණු ඒවා. ඔවුන් කන බොන, නටන, සින්දු කියන, බජව් දාන අනිත් මිනිස්සු වගේම සාමන්‍ය මිනිස්සු කියන එකත් අපට අමතක වෙලා. ඔවුන් ඇත්තටම අපිට මැජික් එකක්.

ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ කාලයක් තිස්සෙ අසාර්ථක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙන්නත් එය හේතුවුණා කියල කියන්න බැරි නැහැ.

කොට්ටහච්චිගේ නැටුම ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ පරම්පරාව එම සාම්ප්‍රදායික ගතානුගතික බවින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින බවට සංකේතයක්. ඉතින් අපි ස්තූතිවන්ත විය යුතුයි ඇයට. ඇගේ නැටුමට.

එමාට අනුව නටන්න බැරි නම් ඒක විප්ලවයක් නෙවෙයි. නටන්න බැරි නම් මට ඔබේ විප්ලවයෙන් වැඩක් නැහැ. නටන්න බැරි විප්ලවයක් වටින විප්ලවයක් වෙන්නෙ නැහැ. කොට්ටහච්චි සහෝදරිය, ඔව් ඇත්ත වශයෙන්ම නටන්න බැරි විප්ලවයක් කියන්නෙ කුමන්ත්‍රණයකට.

  • – සුභා