චීන බස් එක පසුපස දුවන ‘මල් ළමයා’ හා ‘ජාතිය’

0

චීන සමාජ මාධ්‍යවල පසු ගිය දිනවල ලංකාවේ දරුවෙක් අතිශය ජනප්‍රිය වුණා. ඔහු අතිශය සුන්දර හිනාවක් ධෛර්යවන්ත හදවතක් සහිත ජීවිකාව පිණිස මල් විකුණන කුඩා කොලු ගැටයෙක්. නුවරඑළිය ගම්පොළ පාරේ මල් මිටක් විකුණන්න හති වැටෙනකල් කිලෝමීටර් ගණනක් දුවන ඔහුගේ වීඩියෝව චීන සමාජ මාධ්‍යවල වෛරල් වෙන්න පටන් ගැනීමත් එක්ක මූළු ලෝකෙම වගේම මේ දූපතේ මාධ්‍යවල අවධානෙත් එයාට යොමු වුණා. ඒ වීඩියෝව මේ වන විට නැරඹුම් වාර කෝටි 13 ත් ඉක්මවා ගිහින්.

පළවන මාධ්‍ය වාර්තා හරි නම් ඔහුගෙ වයස අවුරුදු 17 යි. මාධ්‍යවලින් මේ වන විට ඔහුගේ නම ගම විස්තර හෙළි කරල ඉවර වුණත් මම කැමති චීන සමාජ මාධ්‍යවල අඳුන්වන විදියටම “මල් විකුණන මල්ලී” කියල ඔහුට කියන්න. තවමත් පාසල් යන වයසේ නිසා හරි නම් අපි ඔහු ආමන්ත්‍රණය කල යුත්තේ “මල් විකුණන දරුවා” යනුවෙන්.

පාරේ මල් විකුණන මේ දරුවා ධෛර්යයවන්තකමේ සංකේතයක්. එතැන මල් විකුණපු එකම කෙනා ඔහු විතරක් නෙවෙයි. ඔහු චීනෙ සමාජ මාධ්‍යවල තරුවක් වෙන්නෙ ඒ ධෛර්යයවන්තකම හින්දා. ඔහු වංගුවලින් කඳු මුදුන් වලින් උඩට පහළට බැහැලා පස්සෙන් හඹා යන්න තරම් ධෛර්යයක් තිබ්බ කොල්ලෙක් නිසා. නොසැලෙන ආත්ම ශක්තිය, හිනාව, දිළිසෙන ඇස් මේ ඔක්කොම හින්දා. චීනෙන් ඇවිත් ඒ ධෛර්යය වීඩියෝවකට ගත්ත මිනිස්සු ඒක හෘද්‍යාංගමව සමාජ ගත කරේත් ඒ හින්දා.

“වංගු පාරෙදි අපට මල් කොල්ලෙක් හම්බ වුණා. ඔහු මල් රැගෙන අපේ බස් රථය හඹා ආවා. නිකං නෙවෙයි සිනා මුසු මුහුණින් සහ අපට අත වනමින්. බසයේ සිටි සමහරු ඔහුව හඳුනගත්තා. ඔවුන් පැවසුවේ ඔහු ලංකාවේ ජනප්‍රිය මල් කොල්ලා බවයි. අපි බසය නතර නොකරමින් ඉදිරියට ගියත් ඔහුගේ සිනහව නම් නතරවුණේ නැහැ. තවත් මල් විකුණන තරුණයින් සිටි නමුත් ඔහු පමණයි අපි පසුපස දුවන්න ආවෙ. අවසානයේ බස් රථයේ සිටි සියල්ලන්ම කෑගැසුවේ ඔහුගෙන් මල් ගැනීම සඳහා ඉක්මණින්ම බස් රථය නවත්තන ලෙසයි. ඔහුගේ මෙම ක්‍රියාව දියුණු වීමට දුප්පත්කම කිසිසේත් බාධාවක් නොවන බව මට පසක් කළා. ඔහුගේ ඇස් කුමාරයෙකුගේ මෙන් දිළිසුණා. වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන් හරි සුන්දරයි” යනුවෙන් ඔවුන් එයට අදහස් එක් කර තිබුණා.

“එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. වෙන දෙයක් නිසා නෙවෙයි දිළිසෙන එයාගෙ ඇස් නිසා”

“ශ්‍රී ලංකාව දුරද? එයාව බලන්න කවදහරි යනවා” වගේ කමෙන්ට්ස් දහස් ගණනක් ඒ අතර තිබුණා.

ඒ අදහස් ගොඩක් වටින ඒවා. ඔහු වෙනුවෙන් ඇන්ද චිත්‍රත් එහෙමයි. ඒ චිත්‍රවලට වගේම ඒ පුතාට දීපු ආදරයට අපි ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි.

ඒත් මල් අරන් බස් පස්සෙ දුවන පුංචි පුතාගෙ චිත්‍රය එතරම් සරල එකක්ද? ඒකෙන් නිරූපනය වෙන්නෙ ඔහුගෙ අප්‍රතිහත ධෛර්යය විතරමද? මට ඒකෙන් පේන්නෙ ශතවර්ෂ බර ගණනාවක් තිස්සෙ කඩාගෙන වැටුණු අඳුරු අගාධයක්. දරිද්‍රතාවයෙ පතුළක්. ළමා අයිතිවාසිකම් මස්ත බාල්දු වෙච්ච අඳුරු වංකගිරියක්. 2022 මුළු ලෝකෙටම කෑගැහල කිව්ව වගේම බංකොලොත් කමක්.

ඔහු මේවනවිට ස්කෝලෙ යන්නෙ නෑ. අම්ම නැති පවුලේ බර කරට අරන් දැන් අවුරුදු අටකටත් වැඩියි. ඒ කියන්නෙ ඔහු හතරෙ පන්තියෙන් හෝ පහේ පන්තියෙන් එහාට පාසල් ගිහින් නැහැ කියන එක. ලංකාවේ නීතියට අනුව වයස 16 ට අඩු දරුවන් රැකියාවේ යෙදවීම බරපතල වරදක්. චීන මිනිස්සු ලස්සනට ඇන්ද මල් විකුණන මල්ලිගේ චිත්‍රය ඒ තරම්ම ලස්සන නැත්තෙ ඒකයි. එය කළු කැත අඳුරු ලේ පැල්ලම් සහිත චිත්‍රයක්. පාලකයින් විසින් බංකොලොත් කළ රටක් යන තේමාවෙන් ඇන්ද චිත්‍රයක්. ඒ රටේ අනාත වූ දරුවන් සහ ඔවුන්ගේ අනාගතය පෙන්නුම් කරන කැත චිත්‍රයක්. එදා මුළු ලෝකෙටම කෑගහල කිව්ව බංකොලොත් කමේ සායම් ඇරපු චිත්‍රය තමයි ඒ. ඒ නිසා රස්සාවට බස් එකක් පස්සෙ දුවන දරුවෙක් වෙනුවට මට ඒ චිත්‍රවලින් පේන්නෙ බස් එකක් පස්සෙ දුවන ජාතියක්.

කියන විදියට විශේෂ චීන සංචාරක් කණ්ඩායමක් මේ දරුවා බලන්න එන්න නියමිතයිලු. මට නම් හිතෙන්නෙ එයාලා අපිව බලන්න එන එක සාධාරණයි.

– සුබා