විභාගයකින් තොරව කොරියා රැකියා සඳහා දුන් පුහුණුව – පොලිස් රිපෝට් 400 කට වඩා දැනටමත් ඉල්ලුම් කරලා

0

තරග විභාගයකින් තොරව රජය හරහා කොරියාවේ කෘෂි අංශයේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහාරාමයේ දේශපාලනඥයෙකු තරුණයන් පන්සියයකට පුහුණුවක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

එම දේශපාලනඥයා මේ සඳහා එක් තරුණයෙකුගෙන් රු 40,000 ක පමණ අය කර ගත් බව ඊට සහභාගී වූ තරුණයින් කණ්ඩායමක් පවසනවා.

දින හයක් පුරා පැවති එම පුහුණු වැඩසටහන කොළඹ මාකොල ප්‍රදේශයේ ස්ථානයක දී පැවැත්වූ වූ අතර මුල් අදියර සඳහා හැටකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කරගත් බවයි එම තරුණයින් පවසා ඇත්තේ.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා පනහක් දිස්ත්‍රික්කයකට ලැබෙන නමුත් වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දලු කැඩීමට බාධා වන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බවත් එම දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇතැයි සඳහන්.

ඉල්ලීම පරිදි පුහුණුවට ගිය සෑම තරුණයෙකු ම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි අදාළ දේශපාලනඥයාට භාර දී මාස දෙකක් ගත වී ඇතත් තවමත් එක් තරුණයෙකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බව ද ඔවුහු පවසනවා.

පුහුණුව සතියකට එක් දිනක් පැවති අතර පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1,500කුත් ආහාරපාන සහ වෙනත් වියදම් සමග මේ වන විට එක් තරුණයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් වියදම් වී ඇති බව යි ඔවුන් සඳහන් කළේ.

මේ පිළිබඳව වීරවිල පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ, විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා පිටත්වීමට පසුගිය දින කිහිපය තුළ පොලිස් වාර්තා හාරසියයකට ආසන්න ගණනක් ඉල්ලා ඇති බවයි.

වාර්තා ඉල්ලා පැමිණෙන සෑම තරුණයෙකු ම අවිනිශ්චිත තත්ත්වයෙන් පසුවන බව ද පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කොරියානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා කිසිසේත් ම අවස්ථාවක් ලබා නොදෙන බව යි.