අනුර අඩුවෙන්ම දේශපාලනය කතා කළ වැඩියෙන්ම ජීවිතය ගැන කතා කළ කතාව..

මෙතෙරත් එතෙරත් දේශපාලන කතා සිය දහසක් කර ඇති නා‍යකයෙක් වන අනුර කුමාර දිසානායක අතිශය ප්‍රථම වතාවට ජීවිතය ගැන සංවේදී කතාවක් සිදු කළා.

ඒ පසුගිය දා තඹුත්තේගම ජාතික පාසලේ ආදී සිසු සිසුවියන් හා ගුරුවරුන් මැද සිටගෙනය.

එය අනුරගේ තඹුත්තේගම ප්‍රදේශයේ කුඩා විය ගැනයි. තඹුත්තේගම ගාමිණී විද්‍යාලය පසුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය බවට පත් වූ ඔහුගේ පාසල් ජීවිතය ගැනයි. ජීවිතය වෙනස් කළ ගුරුවරු සහ ගුරුවරියන් ගැනයි. එකම පන්තියේ අකුරු කළ එකම ඇඳේ නිදාගත් සහෝදරයින් මිතුරන් ගැනයි. ඒ මිතුරන් පාසල ඉදිරිපිටම නැතිනම් පිට්ටනිවල ඝාතනය වූ ආකාරය ගැනයි.

අනුර දේශපාලනය අඩුවෙන්ම කතා කළ කතාව මෙය දැයි දන්නේ නැහැ. නමුත් මෑතකදී අසා ඇති අනුරගේ කතාවල දේශපාලනය අඩුවෙන්ම කතා කළ කතාව මෙය බව අපගේ හැඟීමයි.

එහෙත් මුල සිට අගට එය සහමුලින්ම දේශපාලනිකය. එය එක් පරම්පරාවක් පිළිබඳ කතාවක්. අනුර මේ කතාවෙ දි කියන්නේ දරිද්‍රතාවය හා බැදුනු කුඩා විය ගැන. එකම වයසේ එක් පිරිසක් කොළඹ රෝයල්, ආනන්ද නාලන්ද, සෙන්‍ට් තෝමස් වැනි විද්‍යාලවල අධි සුඛෝපභෝගී අධ්‍යාපන පහසුකම් ලබන විට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල වැනි පාසල්වල තවත් දරුවන් පිරිසක් ඉගෙන ගැනීම සඳහා කළ අරගලය ගැන. පාසලේ ගමේ අල්ලපු ගෙදර සහෝදර සහෝදරියන් ඝාතනය වූ හැටි.

අද මං කතා කරන්නේ අපිව දේශපාලනයට ගෙනාව ජීවිතය ගැන.. කියා පටන් ගත්ත ඒ ජීවිත කතාව මුල මැද අග සම්පූර්ණයෙන් දේශපාලනිකය.

මේ ඔහු කළ කතාවෙන් කොටසක්.

“මෑතක දී ජනාධිපතිවරයා තඹුත්තේගමට ඇවිත් කියලා තිබුණා අපේ පාසලේ විද්‍යාව ගණිතය ආරම්භ කරන්න ඔහු මුල් වුණා කියලා. ඒ මුල්ම කණ්ඩායම පටන් ගත්‍තෙ අපේ පන්තියෙන්. ඒ වුණාට ඔහුට අමතක වුණ එක දෙයක් තිබුණා. අදත් මෙතන ජීවත් විය යුතු සමහරු ඔහුගේ ආණ්ඩුව මුල් වීමෙන් නැති කර දැම්මා. චන්දිමාල් කියන්නෙ ඒ වගේ දක්ෂ සිසුවෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. චන්දිමාල් සහ ඔහුගේ මල්ලිත් අම්මා සහ තාත්තාත් ඝාතනය කරනවා. මොන තරම් මෘර්ග ද කියනවා නම් චන්දිමාල්ව පාසල ඉදිරි පිට ගෙනත් ඝාතනය කරනවා. එහෙම තමයි ඉතිහාසය.

අපිට ඉහළ පන්තියේ හිටියා වසන්ත ප්‍රේමසිරි. ඔහු සාමාන්‍ය පෙළ දක්වා ගාමිණී විද්‍යාලයේ ඉගෙන ගෙන අනුරාධපුරේ සෙන්ට්‍රල් එකට ගියා. ඔහුව පැහැරගෙන යන්න ආවම ඔහුගේ නංගි ඉන්දු, ඉන්දිරා කියල අපි ඒ කාලෙ කිව්වෙ, මගේ අයියා පැහැරගෙන යන්න එපා කියලා අතේ එල්ලුණා. ඊට පස්සෙ නංගිත් පැහැරගෙන ගිහින් මුසල් පිටියේ වැව් පිට්ටනියේ වධ දීල දූෂණය කරලා දෙන්නම ඝාතනය කරලා දැම්මා. අපි අතර ජීවත් වෙන්න ඕන අය අදත්.

සාමාන්‍ය පෙළ දක්වා අපිත් එක්ක ඉගෙන ගත්‍තා වසන්ත සිසිර රත්නායක. ඔහු නුගවෙල සෙන්ට්‍රල් එකට ගියා උසස් පෙළට. ඔහුත් ඔහුගේ පියාත් මාමා සහ බාප්පාත් හතර දෙනාම ඝාතනය කරලා දැම්මා.

ඒ වගේම කවුරුත් දන්නවා පාසල් අවධියේ මාත් එක්ක එක ඇඳේ නිදාගත්තු එකට මහා විද්‍යාලය දක්වා පයින් ගියපු කවදාවත් දෙදෙනා අතර රණ්ඩුවක් නොවුණු මම ගණිතය විෂය කරත් ඔහු විද්‍යා විෂය කරත් අපේ ගණිත විද්‍යා කියල විෂයන් දෙකක් තිබුණේ නැහැ. එකම පන්තියේ එක ළඟ වාඩිවෙලා හිටිය මගේ අයියා නාගන්ද දිසානායක ඝාතනය කළා.

අපේ ගෙවල්වලට එහා පැත්‍තේ හිටපු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගත්තු මගේ මිතුරා ඝාතනය කළා.

එක්කො මෙය අපේ ඉරණම ලෙස සලකා අපි ජීවත් විය යුතුයි. අධ්‍යාපනයේ වෙනස් වීම් අපේ කරුමය ලෙස සලකා අපි ජීවිත් විය යුතුයි. අපේ ගම්වල මිනිස්සු ඇස් ඉස්සරහ මිය යනව අපි දැකලා තියෙනවා.

දහයේ පන්තිය වෙනකල් ඉගෙන ගත්තා ලාල් කියල සහෝදරයෙක්. ඔහු ඕලෙවල් සමත් වුණේ නැහැ.හමුදාවට ගිහින් මිය ගියා.

දහයෙ පන්‍තිය වෙනකල් ඉගෙන ගත්තා නදී ප්‍රසංග හෙට්ටිආරච්චි. ඔහු බීමතට අබ්බැහි වෙලා මිය ගියා. අපේ මිනිස්සුන්ට ඒකයි අත් වුණු ඉරණම.

ඉතාම දක්ෂ ළමයෙක් හිටියා අයිරානි ෆොන්සේකා. අකුරු ගත්තම මුතුකැට වගේ අකුරු. ඇය මට එවපු ලියුම් තිබුණා. 1993 මං මේ ප්‍රදේශයට ආව රහසේ. ආව වෙලේ මං ඇගේ ගෙදරට ගියා මුතුකැට වගේ අකුරු. ඇගේ ජීවිතේ හමුදාවෙන් කෙළවර වුණේ.

ගුරුවරු කිව්ව ඉතාම දක්ෂ දරුවො හිටියා කියලා ගොඩක් අයට උසස් පෙළ ඕල් එෆ්.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර එක්කෙනෙක් හිටපු ජනාධිපතිවරයෙක්ගේ බෑනෙක්. අනිත් කෙනා ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්. අනිත් කෙනාත් ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්. මම තඹුත්තේගම ගමේ. දෙන්නෙක් රෝයල් එකේ. අනිත් එක්කෙනා සෙන්‍ට් තෝමස් විද්‍යාලයේ. මම තඹුත්තේගම ගාමිණී හා මධ්‍ය මහා විද්‍යාලයේ.”

සම්පූර්ණ කතාව මෙතැනින්..

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!