රාජාංගනයේ සද්ධාරතන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් භික්‍ෂු භාවයෙන් නෙරපා හැර තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ ඊයේ(02) දැනුම්දෙමින් මේ බව අනාවරණය කළා.
සැකකාර හිමියන්ගේ නම සාමණේර නාමයෙන් ඉවත් කරන ලෙස බුද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි ඇතැයිද මෙහිදී දන්වා සිටියා.
මේ බව සඳහන් කෙරුණේ රජාංගනයේ සද්ධාරතන නමින් යූ ටියුබ් නාළිකාව හරහා අසභ්‍ය ප්‍රකාශ සිදුකිරීමකට අදාල නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
රාජංගනයේ හාමුදුරුවෝ නමින් යූටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් පසුගිය චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහා සංඝයාවහන්සේ සිව් නමක් ඉදිරියේ පෙබරවාරි 21වෙනි දින විනය කමිටුවක් හමුවට උන්වහන්සේ ඉදිරිපත් කර තිබුණා.
එහිදී වැරදිකරු කර උන්වහන්සේ භික්ෂුභාවයෙන් නෙරපාර ඇති බව අධිකරණයේ හමුවේ සඳහන් කෙරුණා.
“සැකකාර හිමිනම 2006.05.13 වැනිදා උපසම්පදාව ලබා තිබෙනවා. මෙවැනි අසභ්‍ය වචන භාවිත කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට සහ සම්බුද්ධ ශාසනයට අගතිදායක ලෙස හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපරිමාධිකරණ විනිශ්ච මණ්ඩලයක් මගින් 2025.01.25 චෝදනාපත්‍රයක් ගොනුකරනු ලැබුවා. ඊට අදාළව සාක්ෂිත් කැඳවා අදාළ විනිශ්චය පෙබරවාරි මස 21 වැනිදා සිදු කරනු ලැබුවා.
ඕමල්පේ සෝභිත හිමියන්, මාතලේ ධම්මකුසල හිමියන්, වලේගොඩ ගුණධීර හිමියන්, රජවත්තේ රේවත හිමියන් ඇතුළු මහා සංඝරත්නයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් මේ තීරණය ගෙන තිබෙනවා. සියලු කරුණු සැකකාර හිමියන් විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව භික්ෂු විනය හික්මීමට පරිවාස කාලයක් ලබාදීමට තීරණය කරන තිබුණත් ඒ සැකකාර හිමියන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව නිකායේ පැවැත්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් මේ තීරණය ගෙන තිබෙනවා. එම තීරණය පසුගිය මාර්තු මස 20 වෙනිදා බුද්ධංගල ආරණ්‍ය සේනාසනය පැවති රැස්වීමේදී සැකකාර හිමියන් සාමණේර නාමෙන් ඉවත් කිරීම අනුමත වී තිබෙනවා” යයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවෙ දන්වා සිටියා.
එහිදී මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අශිෂ්ට අසභ්‍ය නොගැළපෙන වචන භාවිතා කරන්නේද යන්න අධීක්ෂණය කිරීමට මාස තුනක අධීක්ෂණ කාලයක් සැකකාර හිමි නමට නියෝග කර තිබුණා.