ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් පසු සියලුම චීන ආනයන සඳහා විශ්මයජනක 104% ක බදු පැනවීම ස්ථිර වශයෙන් සිදුවීමට නියමිත බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අඟහරුවාදා තහවුරු කළා.
මේ සමඟ ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙක අතර වෙළඳ යුද්ධය නිල වශයෙන් ආරම්භ වූ බව සැලකිය හැකිය.
ට්‍රම්ප් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ “අන්‍යෝන්‍ය” තීරුබදු පැකේජයේ කොටසක් ලෙස චීනයට 34% ක තීරුබදු පැනවීමක් සිදු කෙරුණා.
චීනය එම ඉහළ තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ‘ලෙයට ලෙය දතට දත’ උපාය මාර්ගය සිහිගන්වමින් ඇමරිකානු භාණ්ඩ සඳහා 34%ක බදු පැනවීමක් කළා.
මෙය ඇමරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කළ සිදුවීමක් වූ අතර චීනයේ 34% ක බද්ද ඉවත් කර නොගන්නේ නම් තමන් චීනයට තවත් අතිරේක 50% ක බදු පැනවීමක් සිදු කරන බවට ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් චීනය දැඩිව ඇමරිකාවේ මෙම ‘බ්ලැක්මේල්’ වෙළඳ ප්‍රතිපත්තිය හෙළා දැකීමට කටයුතු කරනු ලැබුවා.
චීනයේ වාණිජ අමාත්‍යාංශය චීන ආනයන සඳහා අතිරේක 50% ක තීරුබදුවලට “තදින්ම විරුද්ධ” බව ප්‍රකාශ කළ අතර එය “වැරැද්දක් මත වැරැද්දක්” ලෙසයි හැඳින්වූයේ.
අඟහරුවාදා උදෑසන ඉහළ ගිය එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ දර්ශක, ලෙවිට්ගේ අදහස් දැක්වීමෙන් පසු පහළට ගමන් කිරීමට පටන් ගැනුණා.
අවසානයේ දිනය කැපී පෙනෙන ලෙස කොටස් වෙළඳ පොළ දර්ශක පහත වැටීමකට හේතුවුණා. ඩව් දර්ශකය 0.84% කින් පහත වැටුණු බව වාර්තා වෙනවා.
පුළුල් S&P 500 දර්ශකය 1.57% කින් පහත වැටුණා. තාක්‍ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දර්ශකය වන නැස්ඩැක් සංයුක්ත දර්ශකය 2.15% කින් පහත වැටීමට මෙම තත්ත්වය හේතු වුණා.
“ඇමරිකානු කම්කරුවන්ට කරන ලද හිරිහැරය පළිගැනීම දෙගුණ කිරීමට උත්සාහ කරන චීනය වැනි රටවල් වැරැද්දක් කරමින් සිටිනවා” ලෙවිට් අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවසුවා
“ජනාධිපති ට්‍රම්ප්ට වානේ කොඳු ඇට පෙළක් ඇති අතර ඔහු බිඳී යන්නේ නැහැ.”
ආසියානු වෙළඳපොළවල් බොහෝ දුරට වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳ පොළ දර්ශකයේ පාඩු නිරීක්ෂණය වීමද මෙහිදී කැපී පෙනුණා. ජපානයේ නිකේයි 225 බදාදා 3% කින් පමණ පහත වැටුණා. හොංකොං හි හැන්ග් සෙන්ග් දර්ශකය 3% කින් පහත වැටුණා. දකුණු කොරියාවේ KOSPI සහ ඕස්ට්‍රේලියාවේ ASX 200 දර්ශකය 1% කින් පමණ පහත වැටුණු බව වාර්තා වුණා.
පෙබරවාරි මාසයේදී, ට්‍රම්ප් මුලින් සියලුම චීන භාණ්ඩ සඳහා 10% ක තීරුබදු පැනවූ අතර, කිසිදු ව්‍යතිරේකයකින් තොරව, නීතිවිරෝධී සංක්‍රමණ සඳහා ආධාර කිරීම සහ එක්සත් ජනපදයට ෆෙන්ටැනයිල් ලබා ගැනීමේදී රට විසින් සිදු කරන ලදැයි කියනු ලබන භූමිකාවට එය සම්බන්ධ කරනු ලැබුවා.
පසුගිය මාසයේදී ඔහු එම අනුපාත දෙගුණ කර තිබුණා.
පසුගිය වසරේ චීනය ඇමරිකාවේ දෙවන විශාලතම ආනයන ප්‍රභවය වූ අතර චීනය එක්සත් ජනපදයට ඩොලර් බිලියන 439 ක භාණ්ඩ නැව්ගත කරන බවයි වාර්තා වුණේ. එක්සත් ජනපදය ඩොලර් බිලියන 144 ක භාණ්ඩ චීනයට අපනයනය කරනු ලැබුවා. මෙම අන්‍යෝන්‍ය තීරුබදු දේශීය කර්මාන්තවලට හානි කිරීමට විශාල තර්ජනයක් ලෙසයි චීනය සලකනු ලබන්නේ.
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අවසන් වූ විට, ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණය සඳහා වූ පීටර්සන් ආයතනයට අනුව, එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා 19.3% ක සාමාන්‍ය තීරුබදු අනුපාතයක් අය කර තිබුණා. බයිඩන් පරිපාලනය ට්‍රම්ප්ගේ තීරුබදු බොහොමයක් ක්‍රියාත්මක කළ අතර අමතර ඒවා එකතු කරමින් සාමාන්‍ය අනුපාතය 20.8% දක්වා එය රැගෙන ආවා.
විභව ප්‍රති-පියවර
ට්‍රම්ප්ගේ අතිරේක තීරුබදු තර්ජනයට චීන රාජ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැඩි විරෝධයක් දක්වා තියෙනවා. බීජිං සමඟ සම්බන්ධතා ඇති බලගතු විචාරකයින් දෙදෙනෙකු නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් චීනයට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි ප්‍රති-පියවර ලැයිස්තුවක් බෙදා ගත්තේ ඒ අතරයි.
විභව පියවර අතරට සෝයා බෝංචි සහ සෝගම් වැනි එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තීරුබදු සැලකිය යුතු ලෙස වැඩි කිරීම, එක්සත් ජනපද කුකුළු මස් ආනයනය තහනම් කිරීම, ෆෙන්ටැනයිල් සඳහා සහයෝගීතාවය අත්හිටුවීම, නීති උපදේශන වැනි සේවාවන් සඳහා වෙළඳපල ප්‍රවේශය සීමා කිරීම, එක්සත් ජනපද චිත්‍රපට ආනයනය තවදුරටත් සීමා කිරීම හෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සහ ඇමරිකානු සමාගම් චීනයේ ඔවුන්ගේ බුද්ධිමය දේපළවලින් කොපමණ මුදලක් උපයා ඇත්දැයි විමර්ශනය කිරීම ඇතුළත් වෙනවා.
“චීනය කරදර ඇති කරන්නේ නැහැ, නමුත් එය එයට බිය වන්නේත් නැහැ,” චීනයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ෂින්හුවා හි ජ්‍යෙෂ්ඨ කර්තෘ ලියු හොං පවසා තියෙනවා.
චීනය ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ අතර සෙල්ලම් බඩු, ස්මාර්ට්ෆෝන්, පරිගණක වැනි සන්නිවේදන උපකරණ සහ අනෙකුත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියක් ඇතුළත් වෙනවා. මෙම සියලු භාණ්ඩ සඳහා ඉදිරියේදී එක්සත් ජනපද පාරිභෝගිකයින්ට සැලකිය යුතු ලෙස වැඩි පිරිවැයක් දැරීමට ඉදිරියේ දී සිදුවීමට නියමිතය.
අඩු තීරුබදු අනුපාත සාකච්ඡා කිරීම අරමුණු කරගත් ලෝක නායකයින් සමඟ සංවාද කිහිපයක් තිබියදීත්, ට්‍රම්ප්ට ඔහුගේ සැලසුම් ප්‍රමාද කිරීමට එතරම් ආශාවක් නොමැති බව ලෙවිට් වාර්තාකරුවන්ට වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට කැමති රටවල් සමඟ ගනුදෙනු කිරීමට ට්‍රම්ප් තම වෙළඳ කණ්ඩායමට උපදෙස් දුන් බව ඇය සඳහන් කර තියෙනවා.