සිනමාවේ අලුත්ම Crush එක! ‘සූරිය සුළඟ’ එක්ක මේඝ සූරියආරච්චි හැමෝගෙම අවධානයට

(Lakvahini) – ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේගේ නවතම සිනමා නිර්මාණය වන “සූරිය සුළඟ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මේඝ සූරියආරච්චි, ශ්‍රී ලාංකීය සිනමාවේ වඩාත් අවධානයට ලක්වන තරුණ රංගන ශිල්පීන් අතර කැපී පෙනෙන නමක් බවට පත්වෙමින් සිටී.

ජුනි 4 වැනිදා සිට දිවයින පුරා තිරගත වන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද අවධානය දිනාගෙන ඇති අතර, එහි ‘සිදත්’ චරිතය හරහා මේඝ සූරියආරච්චිගේ රංගන හැකියාව පිළිබඳ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.
කපිල සූරියආරච්චිගේ “සිනෙමා”, ප්‍රියන්ත කොළඹගේගේ “මන්දාරා” සහ ජයන්ත චන්ද්‍රසිරිගේ “දේවි කුසුමාසන” ඇතුළු නිර්මාණ රැසකින් සිය දක්ෂතාව තහවුරු කර ඇති ඔහු, “සූරිය සුළඟ” තම රංගන ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වයි.

චිත්‍රපටයේ තාත්වික සටන් ජවනිකා පිළිබඳ අදහස් දක්වමින් මේඝ සූරියආරච්චි පැවසුවේ, එම දර්ශන රූගත කිරීමේදී දැඩි ශාරීරික කැපකිරීම්වලට මුහුණ දීමට සිදුවූ බවයි. විශේෂයෙන් සමකාලීන රංගන ශිල්පීන් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ අශාන් ඩයස් සමඟ රූගත කළ සටන් දර්ශන සඳහා සැලකිය යුතු ශාරීරික වෙහෙසක් දැරීමට සිදුවූ බව ඔහු සඳහන් කළේය.

තමන් ක්ෂේත්‍රයට පිවිසියේ නිරූපණ ශිල්පියෙකු ලෙස යන්න සමාජය තුළ පවතින වැරදි මතයක් බව පෙන්වා දුන් මේඝ සූරියආරච්චි, තමන් මුලින්ම යොමු වූයේ රංගනයට බවත්, නිරූපණ ක්ෂේත්‍රයට සහ ජාත්‍යන්තරය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ ඉන් පසුව බවත් පැහැදිලි කළේය.

ළමා වියේ සිටම සිනමාකරණය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ මේඝ සූරියආරච්චි, කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් රැස්කරමින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමා නිර්මාණය වන “මැලේන් ඩ්‍රයිව්” ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නියමිතය.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු, පාසල් සමයේ ජාතික වයස අවුරුදු 19න් පහළ හොකී සහ පාපන්දු කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකු ද වේ. පසුව උසස් අධ්‍යාපනික කටයුතු සහ කලා දිවිය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් සමඟ ඔහු ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් විය.

වත්මන් කාර්යබහුලත්වය සහ සිනමාව කෙරෙහි පවතින සුවිශේෂී ඇල්ම හේතුවෙන් ඔහු ටෙලිනාට්‍ය සඳහා දායක වීම සීමා කර ඇති බව පවසයි. ඔහුගේ රංගනයෙන් හැඩවන නව සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරි කාලය තුළ ප්‍රේක්ෂකයන් වෙත නිකුත් වීමට නියමිත අතර, ශ්‍රී ලාංකීය සිනමාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි තරුණ රංගන ශිල්පියෙකු ලෙස ඔහු සැලකෙයි.

Latest News

error: Content is protected !!