කොළඹට ආ කෙල්ලොත් දිනලා තිබෙන්නේ මාර ගේමක් දීලා – Sidadiye Samanaliyo

0

ඔහු රංගනයෙන් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙකි. එමෙන්ම ඉතා සංකීර්ණ කතාන්දරයක් ප්‍රේක්ෂක මනසෙහි සදාකාලිකව තැම්පත් වන අයුරින් නිර්මාණය කළ තිරපිටපත් රචකයෙකි. වත්මන් කලා ක්ෂේත්‍රය තුළ විනෝදාස්වාදය මෙන්ම ගුණාත්මක භාවය සමබරව පවත්වා ගනිමින් ප්‍රේක්ෂක හදමනස පිනවන නිවේදකයෙක්. ඔහුගේ නවතම නිර්මාණය හරහා මොහු අධ්‍යක්ෂ ලොවට පිවිසෙනවා. අද අප හා එක්වන්නේ අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධන. මේ දවස් ගෙවී යන්නේ කොහොමද?

මේ දවස්වල ‘සිදාදියේ සමනලියෝ’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරගෙන යනවා. එය තමයි මේ දිනවල තිබෙන ප්‍රධානම කටයුත්ත. කාර්යබහුල අයුරින් කාලය ගෙවී යනවා.

‘සිදාදියේ සමනලියෝ’ ගැන කතා කරමු?

මේ වන විට සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. එමෙන්ම යූ ටියුබ්හි මෙය ට්‍රෙන්ඩින් වී තිබෙනවා. කොළඹට ආපු ගැහැනු ළමයි පස් දෙනෙක් වටා තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. මොවුන් විවිධ රැකියාවන් හි නිරත වෙන ගැහැනු ළමයි පස් දෙනෙක්. එකම බෝඩිමක නැවතිලා තමන්ගෙ ගමන යන කතාවක් තමයි මෙහි තිබෙන්නේ. කපිල සුගත් විජේරත්න සහ මලින්ද මධුසංක තමයි මට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට ආරාධනා කරන්නේ. ඒ අනුව මට පණ්ඩුක වීරසේකර කියන නිෂ්පාදකයා මුණගැසෙනවා. මම ඔවුන් තිදෙනාව මේ මොහොතේ ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන්ට අවශ්‍ය වුණේ මගේම තිරපිටපතක් මම අධ්‍යක්ෂණය කරනවා දකින්න. නමුත් මම මේ ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචනය අරුණ ජයවර්ධන මහතාට භාර දෙනවා. ඒ ඔහු විශිෂ්ට තිරපිටපත් රචකයෙක් සහ ප්‍රබල කතා ගොතන්නෙක් නිසා. ස්වර්ණවාහිනි නාළිකාව මෙය තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ටත් ස්තූතිවන්ත විය යුතුයි.

ස්ත්‍රීන් පස් දෙනෙක් සමඟ තල පහක දිවෙන ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම මොනවගේ අත් දැකීමක්ද?

මේක ඉතා අපහසු කර්තව්‍යක් කාන්තාවන් පස් දෙනෙක් එක්ක වැඩ කරනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. මෙය ආඛ්‍යාන පහකින් දිවෙන කතාන්දරයක්. මේ පස් දෙනාගෙන් දෙදෙනෙක් නවක රංගන ශිල්පිනියන්. අනෙක් තිදෙනා මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබෙන රංගන ශිල්පිනියන්. මෙය දුෂ්කර කාර්යයක්. හැමදෙනාම ෂූටින් පටන්ගත්තට පස්සෙ තමන්ගෙ ලෝකවලට ගිහින් චරිතයට ලැබිය යුතු උපරිම ධාරිතාව ලබා දෙනවා. ඔවුන් තමන්ගේ හැකියාවෙන් බොහෝ දෙය මේ නිර්මාණයට එකතු කරනවා. ඔවුන් ඉතා උනන්දුවෙන් තමන්ගෙ රංගනය නිර්මාණයට එක්කරනවා. අලුත් පරණ පරම්පරා එකතු වෙලා වැඩ කරන එක හරිම අමාරු දෙයක්. නමුත් මේ සංකීර්ණතාවම තමයි නිර්මාණයට සුන්දරත්වය ලබා දෙන්නේ. කොළඹ ආපු කොල්ලො විතරක් නෙවෙයි කොළඹ ආපු කෙල්ලොත් සෑහෙන ගේමක් දීලා තමයි මේ කොළඹ දිනලා තිබෙන්නේ. ඔවුන් කොච්චර කොළඹ දින්නත් තවමත් සමනලියෝ වගේ අහිංසකයි.

තිරපිටපත රචනය සහ Number 9 ගැන ඔබේ අදහස?

Number 9 කියන්නේ මම ලියූ පළමු තිරපිටපත. එය චරිත් අබේසිංහ තමයි අධ්‍යක්ෂණය කළේ. ඔහු තමයි මට ආරාධනා කරන්නේ මගේ තිරපිටපතක් ටෙලිවිෂනයට ගෙන එමු කියලා. ඒ අනුව මම Number 9 රචනා කරනවා. මම ඔහු සමඟ නාට්‍ය කිහිපයක වැඩ කළා. ඔහු එක් අවස්ථාවක මගෙන් අහනවා ඇයි ලියන්නේ නැත්තෙ කියලා. ඒ අනුව මම මිනීමරු කලාකරුවෙක්ගේ කතාවක් තිරපිටපතට ගෙන එනවා. ඔහු දාම ඝාතකයෙක් වගේම සංගීතඥයෙක්. මේක ඉතා සංකීර්ණ මනුස්සයෙක් ගැන සංකීර්ණ කතාවක්. මම විශාල ශ්‍රමයක් මේ සඳහා වැය කළා. එහි බිතෝවන් කියන මහා සංගීතඥයාගේ සිම්පනි 9ක් ආශ්‍රිතව තමයි මිනී මැරුම් සිදු වන්නේ. මෙය රයිගම් සම්මාන උළෙලෙහි සම්මානයට පවා පාත්‍ර වුණා. මම වෘත්තීයමය තිරපිටපත් රචකයෙක් නෙවෙයි. මම නමුත් සිදු කරන වැඩේ වෙනුවෙන් විසල් කැපකිරීමක් දක්වන පුද්ගලයෙක්. දිගටම තිරපිටපත් රචනා කරන්න අදහසක් නැහැ.

රංගන ශිල්පියෙක් වීම අධ්‍යක්ෂවරයෙක් වීමට බලපාන්නේ කෙසේද?

රංගන ශිල්පියෙක් වීම නිසා නිර්මාණයක සිටින චරිතයක් රඟ දක්වන ආකාරය කියා දීම ඉතා පහසු වෙනවා. තව රංගන ශිල්පියෙක්ට දැනෙන අයුරින් ඔහුව මෙහෙයවා රූප රාමුව ගැන කියා දීමට ඉන් මනා පිටිවහලක් ලැබෙනවා.

ඔබ නිවේදන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ඔබ එකිනෙකට වෙනස් වැඩසටහන් රාශියක් මේ අයුරින් සිදු කරනවා මේ ගැන කියනවා නම්?

Tone poem වගේ වැඩසටහන ගත් විට එය සංගීතය තුළ පවතින අතිශය දේශපාලනික දේවල් පිළිබඳව කතා බහ කරන වැඩසටහනක්. අපි එම වැඩසටහනින් සංගීතය ලෝකය පුරා දේශපාලනික වූයේ කෙසේද යන්න කතා බහ කරා. මේ වැඩසටහන මෙහෙය වීමට සංගීතය පිළිබඳව හසළ දැනුමක් අවශ්‍ය වුණා. විවිධ ශානරයන් පිළිබඳව කියවීමක් වගේම ආරාධනය කරන ගායකයාගේ හෝ ගායිකාවගේ සංගීත ප්‍රකාශනය පිළිබඳව පුළුල් දැනුමක් තිබීමත් අවශ්‍ය වෙනවා. අපි Chat & Music වගේ වැඩසටහනක් ගත්විට එය තිබෙන්නේ වෙනත් අන්තයක. නමුත් අපි ප්‍රේක්ෂකයා පිනවන ගමන්ම කලාකරුවන්ගේ වටිනාකම්, කලාකරුවන්ගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම් බෙදාහදා ගත්තා. එය තවත් ගොසිප් ‍ෙදාඩවන ටෙලිවිෂන් වැඩසටහනක් වුණේ නැහැ. මම හැම විටම විනෝදාස්වාදය වගේම කලාකරුවාගේ වටිනාකම පිළිබඳවත් සිතා බලමින් මෙය සජීවී වැඩසටහනක් ලෙස සාර්ථකව ඉටු කළා. විනෝදාස්වාදයත් හරවත් බවත් රැකගනිමින් මේ කර්තව්‍ය සිදු කිරීම තමයි වැදගත් වන්නේ.

ඔබ අති සංකීර්ණ දේවල් ප්‍රේක්ෂකයාට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි ලෙසින් නිර්මාණය කරනවා ඒ ගැන කතා කරමු?

ඒක ඇත්තටම හදා ගත් දෙයක් නෙවෙයි හැදුණු දෙයක් කියලා මට හිතෙනවා. මම 2008 පටන් ටෙලිවිෂනයේ නිවේදකයෙක් ලෙස වැඩ කටයුතු කරලා තිබෙනවා. මට ඒ හරහා ගොඩක් කලාකරුවන් මුණ ගැසී තිබෙනවා. ඒ නිසා මට ඔවුන්ගේ වටිනාකම පිළිබඳව අවබෝධයක් තිබෙනවා. එසේම මේ අයුරින් විශාල කාලයක් වැඩ කිරීම නිසා මට ලාංකික ප්‍රේක්ෂකයා පිළිබඳව විශාල අවබෝධයක් තිබෙනවා. සංකීර්ණ නිර්මාණයක් වුණත් ඔවුන්ට ලබා දිය යුතු ආකාරය පිළිබඳව මට මනා අවබෝධයක් තිබෙනවා. සංකීර්ණතාව සරල මතුපිටකින් කතා කිරීම තමයි අපට වුවමනා වුණේ. නොතේරෙන භාෂාවකින් කතා කරලා මිනිසුන්ට දේවල් දනවන්න බැහැ. තේරෙන භාෂාවකින් කතා කරලා මිනිසුන්ගේ දැනුම ඔප්නැංවිය හැකි නම් එය ඉතා හොඳ දෙයක් කියා මම සිතනවා.

කිඩ් නැප් සිනමාපටය ගැන කතා කරමු?

කිඩ් නැප් කියන්නේ සුරංග අල්විස් කියන අධ්‍යක්ෂවරයාගේ නවතම නිර්මාණය. ඔහුගේ ද ගේම් කියන සිනමාපටයටත් මම රංගනයෙන් දායක වුණා. ඔහු ඉතා විශිෂ්ට ගණයේ වාණිජමය අධ්‍යක්ෂවරයෙක් ලෙස හ¾දුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ නවතම සිනමාපටය තිරගත වන තුරු බොහෝ පිරිසක් බලාගෙන සිටිනවා. එය බොහෝ දුරට මේ වසරෙදී තිරගතවීම ඇරඹේවි කියා සිතනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?

චරිත් අබේසිංහගෙ චණ්ඩි කුමාරිහාමි, ගයාන් කහවත්තගෙ නිහඬගිර, සුදර්ශන බණ්ඩාරගෙ රතු ක¾දුළු මල්ල ලලිත් රෝහිත එදිරිසිංහගෙ රීරි මද්දහන වගේ මම රංගනයෙන් දායක වූ නිර්මාණ රාශියක් ප්‍රේක්ෂක ඔබට ඉදිරියේදී දැක ගැනීමට හැකියාව ලැබේ. ඒවගේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “කදිර දිව්‍යරාජ” සිනමා කෘතියත් තිරගත වීමට නියමිතයි.

– ගිහාන් සචින්ත