ඩයස්ගේ නංගි තමා වාසනාව ගෙනාවේ

0

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ගීත කලඑළි බසිනවා. ඇතැම් ගීත නොසිතූ විරුලෙස ජනප්‍රිය වෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ජාලය තුළ ජනප්‍රිය වුණ ගීතයක් ගැනයි මේ කියන්නට යන්නේ. “ඩයස් ගේ නංගි“ ගැන මේ දිනවල විවිධ කතා තියෙනවා. මුහුණු පොතේ ඇතැම් පෝස්ටු ලියැවෙන්නේද “ඩයස්ගෙ නංගි“ ඈඳා ගනිමින්.

යමෙකුට මෙය අපභ්‍ර‍රංස කතාවක් වුවද ඩයස්ගේ නංගි ගැන දන්නා අයට නම් එය අපූරු අත්දැකීමකි.

පසුගිය කාලයේ ඒ කියන්නේ කොරෝනා වසංගතය ඇරඹීමත් සමඟ කරළියට පැමිණි ධම්මික පැණිය ද ඩයස්ගේ නංගිගේ කතාවට සම්බන්ධය. කිසිම සම්බන්ධතාවක් නැති වුවද ශබ්ද රසය. එකිනෙකට බැඳුණ කතාවක් හරි අපූරුවට කියන්නට මේ පද රචකයා සමත්ය. ඒ ඩයස්ගේ නංගි සමඟ කරළියට පැමිණි FREEZE සංගීත කණ්ඩායමේ වැඩකි.

තම පාසැල් මිතුරාගේ මංගල උත්සවයට සහභාගි වූ මේ තරුණයාට එහිදී දැක ගන්නට ලැබෙන්නේ තම මිතුරාගේ නැගණියයි. මිතුරාගේ නැඟණියට පෙම් බඳින්නට සිතෙන, ඇය පිළිබඳ වුණ ඇතිවෙන ආදරනීය හැඟීම් සියල්ල මුසු කරමින් ලියැවුණ “ඩයස්ගේ නංගි“ ගීතය සමඟ අපූරු රූප රචනාවක් ද ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ රූප රචනාවට ඉදිරිපත් වී සිටින්නේ සංගීත කණ්ඩායමේ සහසාමාජික පිරිස හා ජනප්‍රිය නිළි ශනුද්‍රි ප්‍රියසාද් හා විකට නළු නිළියන්ය.

අඩුම කාලයක් තුළ යූටියුබ් හි වැඩිම වාර ගණක් නැරඹූ ගීතය බවට පත්ව තියෙන්නේත් මේ “ඩයස්ගේ නංගි ද?“ සින්දුවයි. ඒ නිසාම ඒ ගැන වගේම ෆ්‍රීස් සංගීත කණ්ඩායමේ ඉදිරි නිර්මාණ ගැන කතා කරන්නට හිතුවා. අපි මේ කතාබහට සම්බන්ධ කර ගත්තේ ෆ්‍රීස් සංගීත කණ්ඩායම පටන් ගත්ත සෙනාල් කපුගීකියන.

අද වෙනකොට මේ සින්දුවට Views කීයක් විතර තියෙනවද?
මිලියන පහකට වඩා වැඩි ගණනක් බලලා තියෙනවා.

මේ බූස්ට් එකක් එක්කද?
නැහැනේ… ඒකනේ අපිටත් හිතාගන්න බැරි.

ඒ කියන්නෙ Organic Reach එකක්?
අනිවාර්යයෙන්ම. අපේ චැනල් එක තාම මොනිටයිස් වෙලාවත් තිබ්බේ නැහැ.

ඒ කියන්නෙ සින්දුව දානකොට subscribers ලා කීයද හිටියේ?
සින්දුව දානකොට subscribers ලා 400යි හිටියේ. දැන් 40,000ත් පහුකරලා. ඩයස්ගේ නංගි තමා අපට වාසනාව ගේන්නෙ. ඒක තමයි ඇත්ත

ෆ්‍රීස් බෑන්ඩ් එක පටන්ගන්නෙ කොයි කාලෙද?
2016 අවුරුද්දේදී තමයි අපි මුලින්ම පටන් ගත්තේ

මෙච්චර කාලයක් කොහෙද හිටියේ?
අපි වෙඩින් සහ කොන්සට්වල ප්ලේ කළේ. ඒකත් කොළඹ තමයි වැඩිපුරම අපි ප්ලේ කළේ. ඒ නිසා කොළඹ මිනිස්සු අපිව දැනගෙන හිටියා. අපි වෙන රැකියාවන් කරන ගමන් බෑන්ඩ් එකේ සෙල්ලම් කළේ. කවර්ස් තමයි ගොඩක්ම ප්ලේ කළේ. අන්තිමට අපිට මෙහෙම හිතුණා. අපි වයසට යන්න කලින් ඔර්ජිනල් සින්දු ටිකක් කරන්න ඕන කියලා.

ඩයස්ගේ නංගි ද පළවෙනි සින්දුව
නැහැ. අපි ඩයස්ගේ නංගිට කලින් තව ගීතයක් කෙරුවා. ඩයස්ගේ නංගි තමයි අපි කරපු දෙවැනි ගීතය.

එතකොට පළවෙනි එකට මොකද වුණේ?
පළවෙනි ගීතය BOSA. ඒක මිනිස්සු බැලුවෙවත් නැහැ. ඒක අපි කළේ ෆැලන් ඇන්ඩ්‍රියා එක්ක. ෆැලන් අපිට මාර විදිහට උදව් කළා ඒක කරන්න. මිනිස්සු 500ක් ඉන්න චැනල් එකක් මිනිස්සු බලන්නෙ නැහැනේ. හැබැයි දැන් ඉතින් “ඩයස්ගේ නංගි ද“ සින්දුව නිසා ඒකත් බලන්න අරන් තියෙනවා.

ඩයස්ගේ නංගි ද? ඇයි මෙහෙම සින්දුවක් කරන්න හිතුවේ?
ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ ලුණු දෙහි සින්දුව ඇහුවම ඒ ගීතය හරහා දැනුණ ෆීලින් එකත් එක්ක තමයි අපිට හිතුණේ ඒ වගේ ගීතයක් කළොත් හොඳයි කියලා. ඒ අනුව තමයි අපි ඒ වගේ ගීතයක් කරන්න හිතුවේ. ඒ ඔස්සේ තමයි ඩයස්ගේ නංගි ද ගීතය අපි තෝරා ගත්තේ.

කාගෙද අදහස?
ඒක මගේ අදහසක්. මේක ලියලා සංගීතවත් කළේ සංක බී. ගේ. වීඩියෝ කන්සෙප්ට් එක සජිත් අක්මීමන ගේ. (PAPA Films)

සින්දුව රිලීස් කරන්න කලින් මුලින්ම ටීම් එකම සින්දුව බලද්දී මොකද හිතුණේ?
අපේ පළවෙනි සින්දුව වැඩ කළේ නැහැනෙ. ඒ නිසා මේක බලද්දී හිතුණේ කලින් එකට වඩා හොඳයි කියන සිතුවිල්ල පමණයි. මේ ලැබෙන ප්‍රතිචාර ගැන තාමත් හිතාගන්න බැහැ.

දැන් ෆ්‍රීස් කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවද?
දැන් ඉන්නවා හයක්. මිගී විජේදාස, සංඛ ජේ කොඩිකාර, චිවන්ත සමරජීව, දිලීප දේශාන්, රුක්ෂාන් ප්‍රදීප් සහ සෙනාල් කපුගීකියන.

ඩයස්ගේ නංගි ද වයිරල් වෙද්දි මොකද හිතුණේ
අපිට ඉස්සර ඉඳන් ඕනේ වෙලා තිබුණේ ෆ්‍රීස් කියන බෑන්ඩ් එක ගැන මිනිස්සු දැන ගන්න එක. මේ සින්දුව හරහා ඒක වුණා. ඊට වඩා දෙයක් ඕනේ නැහැ තව.

ඊළඟ සින්දුව ගැන හිතලාද තියෙන්නේ
මේ අවුරුද්දට අපි සිංදු 5ක් විතර ප්ලෑන් කරලා තියෙනවා. ඒ සින්දුවල භාගයක් වැඩ වෙන විට ඉවරයි. අපි උපරිම උත්සාහ කරන්නෙ හැමදාම වෙනස් වූ අලුත් දෙයක් කරන්න. අපි අපිටම චැලේන්ජ් කර ගන්නවා. අපේ රසයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නවා.

මේ සන්දුවට සංගීත ක්ෂේත්‍රයෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ක්ෂේත්‍රයේ ගොඩක් කට්ටිය කතා කරලා අපිට සුබපැතුවා. නම් වශයෙන් කියනවා නම් මිහිදු ආරියරත්න, ෆැලන් ඇන්ඩ්‍රියා, උමාරා සිංහවංශ, භාතිය ජයකොඩි මුල ඉඳලම අපිට උදවු කළා.

උමාරාගෙ ONE MIC PHASE III කොන්සට් එකේ ප්ලේ කරෙත් ෆ්‍රීස් බෑන්ඩ් එක නේද?
අපේ බෑන්ඩ්ගේ නායක මිගන්ත කියන්නෙ උමාරාගෙ first Bach එකේ ගෝලයෙක්. ඒ නිසා උමාරා අහල තිබ්බා අපිට ප්ලේ කරන්න පුළුවන් ද කියලා. ඉතිං අපි ඒ චාන්ස් එක ගත්තා.

ඩයස්ගේ නංගිට ශනූව ගන්න හිතුවේ ඇයි?
ශනූගෙ අක්කා දිනක්ශි එක්ක එකට ස්කෝලෙ ගිය කෙනෙක් මම. ඒ නිසා නංගි කෙනෙක් විදිහට එයාව එදා ඉඳන්ම දන්නවා. මගේ මියුසික් ඩිරෙක්ටර් මට ඔප්ෂන් දෙකක් දුන්න ශනු සහ තව කෙනෙක්. මම දන්න කියන ශනූව වීඩියෝ එකට සිලෙක්ට් කළා.

ශනූ නිසා සින්දුව තවත් ලස්සන වෙලා තියෙනවා. කොහොමද ශනූ වැඩේට කැමැති වුණේ?
ඒ කලර් එක, එයා නිළියක් විදියට මේන්ටේන් කරන දේ unmatchable නේ. එයාට ෂුවර් එකක් තිබ්බෙ නැහැ අපි සින්දු කියනවා කියලා. ඒ නිසා ඩිරෙක්ටර්ගෙන් අහල තිබුණා ශෙනාල් තාම බෑන්ඩ් එක කරනවද කියලා. සින්දුවත් බලන්න ඕනේ කියලා තිබුණා. ඒ කියන්නෙ quality of work කියන එක. ඒ නිසා සින්දුව මුලින්ම බලලා තමයි විෂුවල් එකට කැමැති වුණේ.

ඊළඟ සින්දුව කවද ද අහන්න ලැබෙන්නෙ
මේ සැප්තැම්බර් මාසේ අනිවාර්යයෙන් ම අහන්න ලැබෙයි.

පුංචි ඉඟියක් දෙන්න පුළුවන් ද කොයි වගේ වැඩක්ද කියලා?
අපි ගීත දෙකක් අපි ළඟ තියෙනවා. එක ගීතයක් ඩිජිටල් ඇප් එකක් ගැන. අනිත් ගීතය මොන දේ වුණත් අන්තිමට ඉතුරු වෙන අපේ පවුල ගැන කියැවෙන එකක්. ඔය දෙකෙන් එකක් තමයි සැප්තැම්බර් මාසේ අවුට් වෙන්නෙ.

ෆ්‍රීස් සංගීත කණ්ඩායම ළඟදීම ප්ලේ කරන කොන්සට් එක මොකක් ද?
නිතරම වගේ ප්‍රයිවට් ඉවෙන්ට් අපි කරනවා. පබ්ලික් ඉවෙන්ට් එකක් තියෙන්නේ ජූලි 21. ඒ නිසා අපිව බලන්න එන්න කියලා ආරාධනා කරනවා ජුලි 21 සිනමන් ලේක්සයිඩ් එකේ. ලුණුදෙහි සින්දුව අහල තමයි අපි “ඩයස්ගේ නංගිද“ සින්දුව කළේ. ඒකට ගරුත්වයක් වශයෙන් තමයි අපි එදාට කොන්සට් එක කරන්නෙ ජිප්සීස් කණ්ඩායම එක්ක.

ෆ්‍රීස් ටීම් එකක් විදිහට මොන වගේ අනාගත බලාපොරොත්තු ද තියෙන්නේ?
අපි ආසාවෙන් ඉන්නවා අපේම කොන්සට් සීරීස් එකක් කරන්න. ඒකට අපේම සින්දු පහක් හයක් විතර එළියට දාලා ඉන්න ඕනේ. ඊට අමතරව මම ආසයි මගේ මේ FREEZE බෑන්ඩ් එක ටුවර් කරන බෑන්ඩ් එකක් වෙන්න. වෙන රටකට ගිහින් අපේ ස්ටයිල් එක ස්ප්‍රෙඩ් කරන්න. ඒ තැනට එන එක තමයි මගේ එකම සිහිනය.

ඔබේ ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නේ?
බොහෝම ස්තුතියි අපට මේ දෙන ආදරේට. අපිට විතරක් නෙවෙයි අලුතින් එන හැමෝටම මේ අවස්ථාව දෙන්න. අලුත් දේවල් කරන තරමට සහ අලුත් දේවල් දකින තරමට තමයි මේ ක්ෂේත්‍රය ඉස්සරහට යන්නෙ. ඒ නිසා තරුණ දක්ෂ සංගීත කණ්ඩායම් තියෙනවා. ඔවුන්ගේ අලුත් නිර්මාණ තියෙනවා. අන්න ඒ අයටත් අවස්ථාව දෙන්න කියලා තමයි මම කියන්නේ.

– අනූෂා රණසිංහ