තලපති විජේගේ නවතම ‘Leo’ චිත්‍රපටයේ සුරූපි ශ්‍රී ලාංකික තරුණියක්

0

කොලිවුඩ් සිනමාවේ සුපිරි වීරයා ලෙස සැලකෙන තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘Leo’ ඔක්තෝබර් 20 වැනි දා සිට ඉන්දියාව ඇතුළු රටවල් රැසක තිරගතවීම ආරම්භ වුණා.

අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටින චිත්‍රපටයේ ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් ද එක්ව සිටින බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන හරහා අතිශය ජනප්‍රිය වුණු ඇය ජනනි කුනසීලාම්.

ජනනි යාපනයේ උපන්, මාධ්‍යවේදිනියක ලෙස කලක් රැකියාව කළ තරුණියක්.

‘Leo’ චිත්‍රපටයට ජනනි තෝරා ගැනීම සිදුවී ඇත්තේ ද ‘බිග් බොස් 6’ රියැලිටි වැඩසටහන හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා බවයි පැවසෙන්නේ.

‘ලියෝ’ තම පළමු චිත්‍රපටය බවත්, පළමු චිත්‍රපටයේ සුපිරි නළු විජේ සමඟ රගපාන්න ලැබීම ගැන ආඩම්බර වන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනනි පවසා තිබෙනවා.

‘ලියෝ’ චිත්‍රපටයට තමන් තෝරා ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ට ස්තුති කරන බවත් ඇය එහි පවසනවා.