වීව්ස් 600 කින් පටන් ගත් ‘ජනයි ප‍්‍රියයි’ යූටියුබ් චැනල් එක..

0

කාලෙන් කාලෙට කාලෙට බිහිවෙන යූටියුබ් තරු අතරේ පෑයූ කාලේ ඉඳන් එකලෙස දිදුලන තාරකා දෙපලක් තමයි ‘ජනයි ප‍්‍රියයි’. මේ නම අහල පුරුදු නැති යූටියුබ් ඇසුරු කරන්නෙක් නම් ඉන්න විදිහක් නෑ. ඔවුන් දෙපල ඒ තරමටම රසිකයන්ගේ ආදරය දිනාගත් යූටියුබ් තරු යුවලක්.

යූටියුබ් එකට ජනයි ප‍්‍රියයි වුණාට හැබෑවටම මොවුන් දෙදෙනාගේ නම් රංග සහ චමල්. අහම්බෙන් මුණගැහිලා මේ තරම් දුරක් ආපු මේ දෙන්නගෙ අපූරු මිත‍්‍රත්වය සහ මෙතෙක් ආ ගමන ගැන මුලින්ම අපි එක්ක කතා කළේ රංග…

යාළුවො දෙන්නගෙ මුණගැසීමෙන්ම මේ කතාව පටන්ගමු…

මට චමල්ව මුණගැහුණෙ මගේ යාළුවෙක් මාර්ගෙන්. ඔහු ආරාධනය කරපු පාටියකදි තමයි චමල්ව මම මුලින්ම දැක්කෙ. ඒ 2013 අවුරුද්දේ. එදෑයින් පස්සෙ දවස් දෙක තුනක් මුණගැහුනත් චමල් මාත් එක්ක කතා කළේ නෑ. හරිම ආඩම්බරකමේ තමයි හිටියෙ. ඒ නිසා මමත් කතා කරන්න ගියෙ නෑ. ඊටපස්සෙ තමයි පොඞ්ඩක් මට කතා කරන්න හම්බුණේ චමල් එක්ක. එතනින් පස්සෙ අපි දෙන්නා ගොඩක් දුරට අඳුරගත්තා.

රංගගෙ පවුලෙ විස්තර

මම විවාහකයි. පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 14 යි. පොඩි පුතාට 12 යි. මගේ බිරිඳ ජයනි රාමනායක. අපි පදිංචි වෙලා ඉන්නෙ කොට්ටාවෙ.

YouTube Channel එක පටන්ගත්ත අදහස කාගෙද?

යූටියුබ් චැනල් එකක් පටන්ගන්න අදහසක් අපි දෙන්නගෙම තිබුණෙ නෑ. අපි දෙන්නම ඒ කාලෙ හිටියෙ එකම ඇඞ්වටයිසින් ෆර්ම් එකක. ඉතින් ඔය කාලෙ ඔෆිස් එකේ විහිළු කරල අපි දෙන්නා හරි ප‍්‍රසිද්ධ වෙලා හිටියෙ. ඔය නිසා ඒකෙ බොස් කිව්වා මම TV Channel එකකට දාලා දෙන්නම් හොඳ Comedy Program එකක් කරන්න කියල. එහෙම මුලින්ම අපි ලෑස්ති වුණේ ‘ජනප‍්‍රියයි ජනකාන්තයි’ කියල TV program එකක් කරන්න. නමුත් ඒ වැඬේ වුණේ නෑ. පස්සෙ ජනප‍්‍රියයි ජනකාන්තයි නම කෙටි කරල ජනයි ප‍්‍රියයි කියල ෆෙස්බුක් පේජ් එකක් හදාගෙන ඒකට අපි දෙන්නා වීඩියෝස් දාන්න පටන්ගත්තා. කොහොමත් ඒ කාලෙ Youtube එකටත් වඩා ෆෙස්බුක් තමයි Up වෙලා තිබුණේ.

මතකද මුලින්ම Hit වුණ වීඩියෝ එක?

ඔව්. මුලින්ම අප්ලෝඞ් කළේ ‘පොලිසිය එනවද?’ වීඩියෝ එක. ඒකට ඒ කාලෙ වීව්ස් තිබුණෙ 600 ක් වගේ. නමුත් හිට් වුණ එක තමයි ‘කිරි කිරි’ වීඩියෝ එක. වීව්ස් 6000 ක් විතර තිබුණා. අපි ඒ කාලෙ ඇත්තටම අපි පුදුම වුණා අපේ වීඩියෝ එකට එච්චර වීව්ස් ආවම. එතනින් පස්සෙ තමයි කට්ටිය කිව්වෙ යූටියුබ් එකටත් වීඩියෝස් දාන්න පටන්ගන්න කියල. ඊටපස්සෙ 2016 අපි චැනල් එකක් හදලා ඒකට විතරක් වීඩියෝස් දාන්න පටන්ගත්තා.

මේ වෙද්දි සබ්ස්ක‍්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද?

දැනට මිලියන 1.12 ක් ඉන්නවා.

යූටියුබ් එකේ ලොකු තරගාකාරීත්වයක් තියෙනවා නේද?

යූටියුබ් කියන්නෙ අනිත් Platforms වලට වඩා ගොඩක් වෙනස් එකක්. හේතුව තමයි සාමාන්‍යයෙන් අපි වැඩක් කරන්න පටන් ගත්තොත් තවත් කෙනෙක් ඒකම කරනවට අපි කැමති නෑනෙ. ලෝකෙ හැමතැනම තරගයක් ඉපදෙන්නෙ ඒ තැනට තව කවුරුහරි ආවම. නමුත් යූටියුබ් එකට අපි වගේම දේවල් කරන්න අය එනවට අපි හරි කැමතියි. අපි වගේම Contents කරල යූටියුබ් එකේ ජනප‍්‍රිය වෙනව කියන්නෙ අපි හැමෝටම හොඳයි. ඒක කවදාවත් අභියෝගයක් වෙන්නෑ.

රංග සහ චමල්ගෙ වෘත්තීන් මොනවද?

දෙන්නගෙම ෆුල් ටයිම් වැඩ තියෙන්නේ යූටියුබ් එකේ තමයි.

චමල් මොන වගේ යාළුවෙක්ද කියල ඇහුවොත්…

චමල් තමයි මගේ හොඳම යාළුවා. ජීවිතේ හැම පැත්තෙන්ම ලොකු හයියක් වෙන මනුස්සයෙක්. අපි දෙන්නගෙ මිත‍්‍රත්වය බිස්නස් එකක් නිසා පටන්ගත්ත එකක් නෙවේනෙ. අහම්බෙන් මුණගැහුණා. පස්සෙ තමයි මේ අදහස ආවෙ. බිස්නස් කවදහරි නැති වුණත් යාළුකම සදාකල් පවතිනවා. මනුස්සයෙක් විදිහට චමල් කියන්නෙ හරි හොඳ කෙනෙක්. හරියට අනිත් අය ගැන හිතනවා.

ගෙදරිත් රංග වීඩියෝස්වල වගේම සැහැල්ලූ චරිතයක්ද?

වීඩියෝස්වල ඉන්න ජනාම තමයි ගෙදර ඉන්නෙත්. ගෙදරට විතරක් නෙවේ මං හිතන්නෙ ගෙදරින් පිට ඉන්නෙත් එයාමයි. මට ගොඩක් අය කියන දෙයක් තමයි රංග අයියෙ ඔයා ජනාම තමයි කියල. හැබැයි චමල් එහෙම නෑ. එයා ටිකක් සීරියස්. කතාව හරි අඩුයි. මං වගේ හැම තිස්සෙම කියවන්නෙ හිනාවෙන්නෙ නෑ.

මේ ආපු ගමනෙ දෙන්නා අතරේ මතගැටුම් එහෙම ඇති වෙලා නැද්ද?

හිත් අමනාපකම් ඇති වෙලා තරහ වෙලානම් ඉඳල නෑ. නමුත් සමහර වෙලාවට අපි නිර්මාණය එළියට දාගන්න වෙහෙසෙන වැඩ කටයුතු අතරේ මතගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ ඉතින් දෙන්නගෙම තර්ක විතර්ක එක්ක හොඳ නිර්මාණයක් එළියට දාගන්න ඕන නිසා.

අවසානයේ වසරේ ජනප‍්‍රියතම යූටියුබ් නාලිකාවට හිමි සම්මානයත් පසුගිය දවසක හිමිකරගත්තා…

ඔව්. මේ වසරේ සුමති සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියම යූටියුබ් නාලිකාවට හිමි සම්මානය ‘ජනයි ප‍්‍රියයි’ ට ලැබුණා. ඇත්තටම සතුටුයි. මීට කලින් අපි රයිගම් සම්මාන උළෙලෙදිත් ඇගයීමකට ලක්වුණා. ඉතින් එතකොට ලොකු සතුටක් දැනෙනවා අපි දාන දේවල් මිනිස්සු ආදරෙන් බලනව කියල. ඒ වගේම අපේ යූටියුබ් චැනල් එක ඉස්සරහට ‘සම්මානනීය’ කියන වචනෙ ආවම පොඩි ආඩම්බරයක් තියෙනවා වගේම ලොකු වගකීමක් තියෙනවා ඉස්සරහට සමාජයට හොඳ දෙයක් දෙන්න.

චමල්ට යාළුවෙක් විදිහට කවදාවත් නොකියපු, නමුත් කියන්න හිතන් ඉන්න දෙයක් අපිට කියන්න කිව්වොත් රංග මොකක්ද කියන්නෙ?

මං චමල්ට කියන්නෙ ආඩම්බරකම චුට්ටක් අඩු කරගන්න කියල.

රංගගෙන් පස්සෙ අපි කතාව පටන්ගත්තෙ චමල් (ප‍්‍රියා) එක්ක..

චමල් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල වෙනද වගේම චැනල් එකේ වීඩියෝස් හදන වැඩ එක්ක තමයි කාලෙ ගෙවෙන්නෙ. ස්ක‍්‍රිප්ට්ස් ලියනවා සහ ඒවට ගැළපෙන්න ලොකේෂන්ස් බලනවා.

වීඩියෝස්වලට ගැළපෙන ලොකේෂන්ස් හොයාගන්නෙ කොහොමද?

කතාවකට ස්ක‍්‍රිප්ට් එක ලියන්නෙත් දෙන්නම කතා වෙලා. ලියල ඉවර වුණාට පස්සෙ ගැළපෙන ලොකේෂන්ස් අපේ හිතේ මැවෙනවා. ඊටපස්සෙ දෙන්නම නිදහස් දවසක කාර් එකේ යනව ලොකේෂන්ස් බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනෙ අපිට ෂූට් කරන්න හොඳ ගෙයක් හම්බෙලා අපි ගිහින් කතා කළාම හරිම කැමැත්තෙන් අපිට ගෙවල් දීපු අය ඕනතරම් ඉන්නවා. ඉතින් ඒක ලොකු සපෝට් එකක්. ඔය හේතුව නිසා අපි දෙන්නගෙ ඔළුවෙ ඇඳෙන ලොකේෂන්ස්ම හොයාගන්න පුළුවන් වෙලත් තියෙනවා.

රංගගේ යාළුකම මොනවගේද?

මෙහෙමයි. යාළුවෙක් කිව්වම අපිට විවිධ අර්ථකථන තියෙනවනෙ. නමුත් රංග කියන්නෙ වෙන කිසිම අර්ථකථනයක් නැති ජීවිතේ මට ලැබුණ හොඳම යාළුවා. ඒක යාළුකමට එහා ගිය ලොකු බැඳීමක්. රංග තමයි බොහෝ තැන්වල මාව ගයිඞ් කරන්නෙ.

වැඩක් කෙරෙද්දි දෙන්නගෙ අදහස් ගළපගන්නෙ කොහොමද?

ගොඩක් වෙලාවට අපි දෙන්නගෙ තියෙන්නේ පරස්පර විරෝධී අදහස්. එයා ආස දේට මං ආස නෑ. මං ආස දේට එයා ආස නෑ. මං හිතන්නෙ ජනයි ප‍්‍රියයි වීඩියෝස් සාර්ථකව කරගන්න බැලන්ස් එකක් විදිහට ඔය පරස්පර විරෝධී අදහස් පවා බලපානවා. මොකද රංග ආස ෆ‍්‍රයිඞ් රයිස් කන්න වුණත් මං ආසම නෑ ඒවට. මං රයිස් ඇන්ඞ් කරි කන්න ආස වුණාට ඒවට රංග ආස නෑ. ඒ නිසා හැමදාම අපි දෙන්නම ෆ‍්‍රයිඞ් රයිස් කන්නෙත් නෑ. හැමදාම රයිස් ඇන්ඞ් කරී කන්නෙත් නෑ. දෙකම බැලන්ස් එකේ යනවා.

වීව්ස් 600 කින් පටන් අරන් අද වෙද්දි මේ ඇවිත් තියෙන සාර්ථක ගමන ගැන මොකද හිතෙන්නෙ?

අපි ඇවිත් තියෙන තැන මාරම තැනක් විදිහටයි මට හිතෙන්නෙ. ඒකට හේතුව රස්සාවත් කරගන්න ගමන් මිනිස්සුන්ගෙ ආදරයත් දිනාගන්නවා කියන එක හරි අමාරු වැඩක්. ගොඩ දෙනෙක් අපිට කියන්නෙ එයාලා Stress වෙලා ඉන්න වෙලාවට අපේ වීඩියෝස් බලල මනස සැහැල්ලූ කරගන්නවා කියල. එයාලා අපිට ස්තූති කරනවා. ඒ ස්තූතිය ලබන්න අපි හරි වාසනාවන්තයි. මේ දේවල් නිසා අපි දෙන්නට හිතෙනවා අපි කරන්නෙ හොඳ කර්මාන්තයක් කියල.

චමල්ගෙ පවුලෙ විස්තර …

මගේ පවුලෙ මමයි, අම්මයි, තාත්තයි, අයියයි ඉන්නෙ. අයියා විවාහකයි.

කොහොමද අවුරුදු සැමරුවෙ?

හැම අවුරුද්දෙම වගේ ගමේ ගියා. මගේ ගම අකුරැස්සේ. අම්මයි තාත්තයි ඉන්නෙ මහ ගෙදර. එයාලව බලන්න යන එක තමයි විශේෂයෙන් කරන්නෙ.

රංග – චමල් දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නෙ කාටද?

වැඩිපුර කියන්න බෑ. මොකද රංගට කේන්ති යන්නෙම නෑ. ඒ නිසා වැඩිපුර කියල මනින්නවත් දෙයක් නෑ. මට තමයි කේන්ති යන්නෙ. රංගට තරහ යන්නැති වුණාමත් මට තරහ යනවා.

රංගට යොමුකළ ප‍්‍රශ්නයම මම චමල්ටත් යොමු කරනව. යාළුවෙක් විදිහට රංගට කවදාවත් නොකියපු දෙයක් අපිට කියන්න කිව්වොත්?

කොහේ ගියත් පුළුවන්නම් ? දොළහ වෙන්න කලින් ගෙදර පලයන් කියල තමයි කියන්න තියෙන්නෙ.

– එරංදි කෞශල්‍යා