පිරිමියකුව සිටි කාලය ගැන මට හංගන්න දෙයක් නෑ. – කොඩි ගහ යට ‘ශානි’

0

කොඩි ගහ යට ‘ශානි’ කිව්වාම මේ දවස්වල නොදන්න කෙනෙක් නැහැ. රීනා සිල්වා අනුරාගි චරිතයක් වුණත් ඇය ඉපදෙන්නේ පිරිමියෙක් හැටියට. මනසින් වේදනා විඳලා හීනයට ගියත් ගැහැනියක් වන ඇය අද සමාජයට බය නැති කාන්තා චරිතයක්.

ගැහැනියක් පිරිමියෙක් කරන්න බෑ කියූ සමාජයේ පිරිමියෙක් ලෙස ඉපදී ගැහැනියක් වූ රීනා සතිඅඟ පුවත් පතක් සමග එක් වී සිය අදහස් බෙදා ගැනීමට කටයුතු කර තිබුනා.

Kodi Gaha Yata | Episode 44 – | ITN

ඔබව බහුතරයක් සමාජය හඳුනාගන්නේ “කොඩි ගහ යට” ටෙලි නාට්‍යය හරහා. එය ඔබේ පළමු නාට්‍යය ද?

නෑ. මම මීට කලින් ෂැඩෝ කියලා ටෙලි නාට්‍යයක රඟපාලා තිබෙනවා. නමුත් මේ වගේ ටිකක් ලොකු චරිතයකට පණ දෙන්නේ පළවැනි වතාවට. ඒ නිසා මේ චරිතය විශේෂයි.

“ශානි” කියන චරිතය ගැන මොනවද කියන්න තියෙන්නේ?

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක එච්චර ලොකු චරිතයක් නෙමෙයි කියලා. නමුත් මට ඒ චරිතයත් එක්ක ගෙවෙන හැම තත්ත්පරයක්ම අභියෝගයක්. ජීවිතේ හැලහැප්පීම මැද සමාජ යථාර්ථයක් කියලා දෙන චරිතයක්. මගේ වටේම ඉන්නේ වේදිකාවේ වගේම ටෙලි නාට්‍යයවල විශිෂ්ට නළු නිළියන්. ඔවුන් සමග රඟපාන්න ලැබීම මගේ ජීවිතේට ලොකු වෙනසක්.

නලින් ලුසේනගේ “කළු” කියන චරිතයත් එක්කම ඔබ රඟපාන චරිතයත් අභියෝගයක්. මේ වෙනස්ම අභියෝගය භාරගන්නේ ජගත් මනුවර්ණ.. ඔහු ගැන මොකද හිතෙන්නේ?

ජගත් සර් ගැන කියනවා නම් හරිම නිහතමානී කෙනෙක්. මට ඔහුව මුණ ගැහෙන්නේ අලෝක සම්පත් හරහා. නමුත් ඉන් පස්සේ ජගත් සර් මට දුන්නු චරිතය මගේ සත්‍ය ජීවිතයේ හැලහැප්පීම්වලටත් උත්තේජකයක් වුණා. මගෙන් ඇහුවා එයා මට මේ වගේ චරිතයක් කරන්න පුළුවන්ද කියලා?. මම කිව්වා මම මගේ උපරිමයෙන් සාධාරණයක් කරන්නම් කියලා.

“කොඩිගහ යට” මේ දවස්වල තත්ත්වෙ මොකද?

කොඩි ගහ ඇත්තටම කොඩි ගහක් නෙමෙයි. මහාම මහා ලොකු වෘක්ෂයක් වගේ. මොකද ඒ ටෙලිය ඇතුළේ ඉන්න සියලුම චරිත විශිෂ්ට රංගන ශිල්පීන්ගෙන් හැඩවෙන්නේ. ඒ අය එක්ක කතා බහ කරන පුංචි වෙලාවත් විශ්ව කෝෂයක් බලනවා වගේ. ඒ තරම්ම වැදගත්. යුග ගාණක විශිෂ්ටත්වය චරිත ගොඩකට එකතු කරලා දකින ප්‍රබල නිර්මාණයක්. මොකද ඒ කතාවට තියෙන ආකර්ෂණය හා ප්‍රචාරය පාරට බැස්සාම තේරෙනවා.

ඔබ සත්‍ය ජීවිතයේ ‘රීනා සිල්වා’ ඇත්තටම ඔබ කවුද?

මම සාමාන්‍ය මනුස්සයෙක්. බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්. ගෙදරින් මාව එපා කියලා එළවපු කෙනෙක්. සමාජයේ ගල් මුල් මැද්දෙන් ඔළුව උස්සපු කෙනෙක්.

ඔබ කලින් පිරිමියෙක් නේද?

ඔව් දැන් මම සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්. සම්පූර්ණයෙන්ම මම දැන් කාන්තාවක්. ඒක නිසා පිරිමියෙක් කියන එක අතීතය පමණයි.

ඔබ පිරිමියකුව සිටි කාලය ගැන කතා කරන්න කැමැතිද?

ඔව් මට හංගන්න දෙයක් නෑ. අනික කොච්චර කාලයක් කියලා හංගන්නද?. මට මගේ ජීවිතේ අමුත්තක් දැනෙන්නෙ මම පුංචි කාලෙදිමයි. ඒ අමුත්ත ප්‍රසිද්ධියේ කියන්න බැරි තරමටම අසරණ වෙලා තියෙනවා. මගේ යාළුවො මගෙ පවුලේ අය මගෙන් ඈත් වෙද්දි ඒ අමුත්ත හරිම වේදනාවක්. ඇත්තටම ඒවා අමිහිරියි. පොඩි කාලෙදී එහෙම දැනෙන්නෙ නෑ. එතකොට හිතට මාර වේදනාවක් දැනෙනවා. නමුත් ලොකු වෙද්දි අපි වගේ තවත් අය ඉන්නවා කියලා දැණුනම හයියක් ආවා.

ඇයි මෙහෙම තීරණයක් ගත්තේ?

මම මේ තීරණයට එළැඹෙන්නේ වයස අවුරුදු 18ක් වෙද්දි. ඒ ශල්‍යකර්මය ලේසි නෑ. ඒක කායික වගේම මානසික කැපවීමක්. නමුත් ඒ අවශ්‍ය හැම ශල්‍යකර්මයක්ම වෙන්නේ තායිලන්තයේදී. වෛද්‍ය කපිල රණසිංහ සහ එරට වෛද්‍ය තෙප්ට්ට පිංසිද්ධ වෙන්න ඒ ශල්‍යකර්මයෙන් පස්සෙ මම ආයෙත් ඉපදුණා වගේ හැඟීමක් දැනුණා. ඒ වෙලාවෙදීත් මට උපතේදී හයිය වුණු මගේ අම්මම ළඟින් හිටියා. ඒක මට සතුටක්.

මේ වෙනස්වීමත් එක්ක ඔබ සමාජයට නිරාවරණය වෙද්දි අභියෝගයන් සිත් තැවුල් ඇති වුණාද?

ඒවා අනන්තයි, අප්‍රමාණයි. පාරක තොටක, පොදු ප්‍රවාහන සේවයක ගමන් කරද්දි නිරන්තරයෙන් මට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණා. නමුත් ඒ වෙද්දි ඇත්තටම මට භාවනා කරන්න පුළුවන් වුණා. බෞද්ධ දර්ශනය මම ගොඩක් ඇලුම් කරන දර්ශනයක්. ඒ අනුවයි මම සිතුම් පැතුම් ඉගෙන ගන්නේ.

වර්තමානය වෙද්දි ලෝකේ රටවල් රැසකම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් රූ රැජනියන් වෙනවා. ලෝකේට දැන් ඒ දේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?

ඔව් 2023 ‘මිස් නෙදර්ලන්ඩ් කිරුළ ලැබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තා රිකී වැලරෙ කොල්ලේට, ඒ වගේම 2018 වසරෙදි “මිස් ස්පේන්” ඇන්ජලා මාරියා කියලා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්, ඒ වගේ අද ලෝකේ ලිංගිකත්වය මත වර්ගීකරණය අවම වෙලා තියෙනවා. ලංකාවේත් අලුත් පරම්පරාව ඒ ගැන තැකීමක් කරන්නෙ නෑ.

ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක් ද?

නැහැ. මම රංගනය ඉගෙන ගන්න මහන්සි වෙනවා. මේ දවස්වලත් අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මම හිතන්නේ ඒක වෘත්තීයමය මට්ටමට ගෙන එන්නේ කොහොමද කියන එක ගැන. මොකද මට මේ දක්වා පුංචි අවස්ථාවක් හරි ලැබුණා නම් ඊළඟට මම කොහොම හරි අඩියෙන් අඩියට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න මම මහන්සි ගන්නවා. ඒ කියන්නේ ලැබෙන හැම පුංචි අවස්ථාවකදීම මාව විශ්වාස කරපු අයට ඒ සාර්ථකත්වය ලබාදෙන්න පුළුවන් වෙනවා නම් ඒ තමයි මම වැඩේ හරියටම කළා වෙන්නේ. ඒ හැරුණාම මට රූපලාවණ්‍යගාරයක් තිබෙනවා. ඒකෙ නම ” බියුටි බයි රීනා”. ඒ ව්‍යාපාරය හරහා මම මගේ දේ ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොටම අමතරව මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේත් ඉන්නවා. ඒක තමයි මගේ පටන් ගැන්ම.

ඔබේ ජීවිතේ වීරයා කවුද ?

ඒ මගෙ අම්මා. මොකද මගෙ හැමදේදිම එයා මගෙ ලොකුම හයිය. මගේ ශල්‍යකර්මයේදි පවා ඇය මගේ ළඟින්ම හිටියා. ඇත්තම කියනවා නම් මට සමාජයට එන්න ලොකු බයක් තිබුණා. මගේ තාත්තාවත්, නෑදෑයෝවත් මට හිටියේ නෑ. දරාගන්න බැරි පීඩනයක් එන වෙලාවට අම්මගේ වචන ටික, අම්මගේ රස්නෙ වුණත් ඇති. ඒ ආරක්ෂාව සහ හයිය වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ.

මොනවද ජීවිතේට ආපු ප්‍රශ්න?

ගොඩක් අමාරු නැතිවුණත් සමාජයේ ගොඩක් අය අනම් මනම් කියනවා. නමුත් ජීවිතේ අපි අපි ගැන ඉස්සෙල්ලම හිතන්න ඕනේ. ඒක තමා ප්‍රශ්නවලට උත්තර. ඒ නිසා කියන කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මොකද අනවශ්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න ගියාම තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ආදරේ කරලා තියනවා. ආදරේ දැනිලා තියෙනවා. ආදරේ කියන්නේ අකුරු තුනක් වුණාට මම හිතන්නේ ඒක මාර ලොකු වපසරියක් තියෙන දෙයක්. ඒ නිසා මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඕනේ. තමන් ලස්සනට ඉන්න වුණත් පුළුවන් එතකොට. ඒ වගේම අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ ටික කාලෙකට. ඒ පුංචි කාලෙට මොනවද මේ පැටලිලි නේද? තනියෙන්ම ජීවත් වෙලා සමාජයට දෙයක් කරලා මැරුණු කාලෙක හොඳයි කියලා අනෙක් අයගෙන් අහන්න තියෙනවා නම් ඒ ඇති.

ජීවිතේ කියන්නේ මොකක්ද ?

ජීවිතේ කියන්නෙ අපිට ලැබුණු චාන්ස් එකක්. එක අතකට විභාගයක් වගේ.. හැම වෙලාවෙම උඩ ඉන්න කෙනාව විශ්වාස කරනවා. එයා තමා අපිව මෙහෙයවන්නේ. ඒ නිසා ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට ජීවත් වෙන්න ලේසියි.

ඇදහිලි සහ විශ්වාස ගැන ඔබ මොකද හිතන්නේ?

බෞද්ධ දර්ශනය ඇතුළේ තියෙන සමහර දේවල් ගැන මම විශ්වාස කරනවා. ඒ නිසා භාවනාව වුණත් මම පුරුද්දක් කරගෙන ඉන්නේ. මම කෙනෙක්ට වරදක් නොකරන්නේද.. මට ඒ දේම ලැබෙයි කියලා හිතනවා.

කෙනෙක් කිව්වොත් සංක්‍රාන්ති ලිංගිකයන්ට පුළුවන් රූපලාවණ්‍ය කටයුතු විතරයි කියලා?

එහෙම දෙයක් නෑ. අපිට පිරිමි සහ ගැහැනු ගති සියල්ලම පිහිටනවා. එහෙනම් අපිට අභියෝගවලට මුහුණ දීමේ හැකියාව උපරිමයි. ඒ වගේම කාන්තාවක සහ පිරිමියකු ගාව තියෙන කලාව සහ ක්‍රමෝපායන් අපිට පිහිටනවා. මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ හිටියට ලෝකේ වෙනස් වෙනස් ක්ෂේත්‍රයන් ගොඩක ඉන්න ගොඩක් මං වගේ අය ඉන්නවා. ඒක නිසා සංක්‍රාන්ති ලිංගිකත්වයට පත්වුණ කෙනෙක්ට නොහිතන ශක්තියක් තියෙනවා.

ඔබ හිතන්නේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කොතැනද?

දෙකක් තියෙනවා. පළවැනිම එක මගේ ශල්‍යකර්මය. එය තමා හැමදේටම පාර කැපුවේ. ඒ වගේම මට ලැබුණු ” මිස් ශ්‍රී ලංකා ෆෝ බ්‍රිටිෂ් එම්පයර් 2019 – එලිගන්ට් ක්ලියෝපැට්‍රා” කියන කිරුළ. ඒකෙන් තමයි සෑහෙන පිරිසක් මාව හඳුනගත්තේ. ඒ වගේම ටික්ටොක් එකෙන් ගොඩක් අය දැන ගත්තා.” ෂැඩෝ නාට්‍යය. ඒ හැම දේම එක්ක ලංකාවම දකින්නේ කොඩි ගහ යට එක්ක. සෙමින් සෙමින් ජීවිතේට ලැබුණ දේවල් නිසා මගේ මුළු ජීවිතේම වෙනස් කළා.

රසටම උයන්න පුළුවන් කෑම මොකක්ද?

මට රසට පාස්ටා හදන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කෑම මම උයනවා.

කන්න ආසම කෑම ?

ලංකාවේ විදිහටම කන්න තියෙන සාමන්‍යයෙන් කෑම බීමවලට කැමැතියි.

ජීවිතේ අවස්ථාවක් ලැබුණොත්‍ රඟපාන්න ආසම නළුවා කවුද?

මම හැම නළුවකුටම ආසයි. ඒ අතරින් හේමාල් රණසිංහට ගොඩාක් කැමැතියි. ඔහු ඒ ඒ චරිතවල ඒ ඒ විදිහට අනුගත වෙන හොඳ නළුවෙක්. ඉතින් මම දවසක හේමාල් එක්ක පුංචි “සීන්” එකක හරි ඉන්න කැමැතියි.

කවදාවත් හැබෑ කරගන්න බැරිවෙයි කියලා හිතිලා ඒත් දැන් ළඟා කරගත්ත සිහිනය?

මම පොඩි කාලේ ඉඳන්ම බය වුණා මට මංම වෙන්න බැරිවෙයි කියලා. ඒකට හේතුව මම ඉන්නෙ කාන්තාවක් වගේ හැබැයි මගේ සියලුම නීතිමය ලියැකියවිලි පිරිමි කෙනෙක්ගේ. ඒත් වෛද්‍ය කපිල රණසිංහට ස්තූතිවන්ත වෙන්න අද මම මම වෙලාම ඉන්නවා. මගේ උප්පැන්න සහතිකයේ ඉඳලා දැන් මම මමම වෙලා ඉන්නවා.

කවදා හරි දකින ලොකුම හීනේ මොකක්ද ?

දවසක රංගනයේ හැමදේම ඉගෙන ගත්ත ලෝකේම දන්න තරුවක් වෙන්න ආසයි. අපි දකින ප්‍රියංකා චොප්රා වගේ තැනක හැම දේම ඉගෙනගෙන රංගනය, නර්තනය වගේ සියලු දේ ඉගෙන ගෙන ලෝකේම දන්න කෙනෙක් වෙන්න මම ආසයි.

මේ ජීවිත කාලේ හැරිලා බැලුවොත් ආපු ගමන ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නෙ?

මීට අවුරුදු 10කට කලින් හිටපු මම නෙමෙයි අද මම මෙතන ඉන්නේ. නින්ද ගියපු නැති, මිනිස්සුන්ගේ මූණ බලන්න බයවුණු, ඒ වගේම අහන්න පුළුවන් නරක කතා ගොඩක් අහපු, මට මම ගැන විශ්වාසයක් නොතිබුණු කාල අනන්තයි. ඒවා පහු කරගෙන හිමින් හිමින් ඔළුව උස්සන් ආපු ගමනක්. සතුටු වුණු තැන් තියෙනවා. දුක හිතුණු තැන් තියෙනවා. හැබැයි දැන් මම අද මේ ඉන්න තැන ගැන අවංක නිහතමානී ආඩම්බරයක් තියෙනවා. එච්චරට මම හයිය මනුස්සයෙක් නේද කියලා.

ජීවිතේ ස්තූති කරන්න කෙනෙක් ඉන්නවාද?

මම අම්මට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඒ තරමටම ආදරෙයි. මොකද එයාට පිං සිද්ධවෙන්න අද මම නිළියක්.