පළමු පෙම්වතා එක්ක මට එළියට යන්න ලැබුණේ නෑ – යුරේනි නොෂිකා

0

යුරේනි නොෂිකා කාගෙත් කතා බහට ලක්වෙන කලා ශිල්පිනියක්. ඇයගේ විලාසිතා නිසා ඇය කතා බහට ලක් වෙනවා වගේම ඇයගේ කතා බහ, ඇයගේ ඉදිරිපත් කිරීම් සමාජ අවධානයට ලක්වෙන හේතු සාධක වී අවසන්. කාගෙත් අවධානය දිනාගෙන ඉන්න, මතුපිටට පෙනෙන සරල විනෝදකාමී තරුණියට එහා ගිය වගකීම් සහගත ජීවන වටපිටාවක් හිමි ඇයට මේ කතා බහ වෙන් වුණා.

සිනමාවේ වගේම පුංචි තිරයෙත් කාර්ය්‍යබහුල කාලයක් නේද මේ ගෙවෙන්නේ?

ඉතාම කාර්ය්‍ය බහුලයි මේ අවුරුද්ද. ‘ගජමෑන්’ චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන තියෙනවා. ඒ නිර්මාණයට හොඳ ප්‍රතිචාර විඳිමින් සිටින මොහොතක් මේ. ඒ වගේම ‘යාළුවෝද යාළුයිද’ කියන මම සම්බන්ධ වුණ අලුත්ම චිත්‍රපටයත් තිරගත වෙන්න පටන් ගත්තා. ලංකාවේ පළවෙනි ෆැෂන් ෆිල්ම් එක මේක. ටික්ටොක් කරන තරුණ පරම්පරාව වෙනුවෙන් කරපු මේ චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලංකාව පුරා යන්නත් අපි සූදානමින් ඉන්නේ.

ඒ වගේම අනුර ඒකනායකගේ පළමු ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් මේ දවස්වල එකතු වෙලා ඉන්නවා. චාන්දනී සෙනෙවිරත්න, ධර්මප්‍රිය ඩයස් වැනි දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එක්ක එයට රංගනයෙන් දායක වෙලා ඉන්නේ. මෙතෙක් නොදැක්ක විදිහේ චරිතයකින් ප්‍රේක්ෂකයන්ට මාව දකින්න ලැබෙයි.

හිරු නාලිකාවේ විකාශය වෙන happy hour වැඩසටහන වෙනුවෙනුත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කරන හැම වැඩේම සාර්ථක වෙනවා දකිද්දි නිහතමානි සතුටක් දැනෙන්නේ.

ඔබව නිර්මාණකරුවන්ට මඟ හැරුණ කාලයක් තිබ්බා. දැන් ඔබට ආයෙත් කලාව පැත්තෙන් හොඳ කල දසාවක් ලබලා වගේ?

මේ අවුරුද්ද ඇත්තටම මට වාසනාවන්ත අවුරුද්දක්. දෛවයෙන් අපිට ලියලා තියෙන දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඒක මම විශ්වාස කරනවා. මාව කවුරුවත් කැපුවා කියලා මම හිතන්නෑ. මම හිතන්නේ ඒ නිර්මාණ මට ලැබෙන්නෙ තිබ්බා නම් ලැබෙයි. අද වෙද්දි මට ඕන දේවල් මට ලැබෙමින් තියෙනවා. මගේ හැකියාව, මට කරන්න පුුළුවන් දේවල් මේ රට හරියට දැකලා නෑ. කූඹියෝ හරහා පමණයි දශමයක් හරි මගේ දක්ෂතාවය දැක්කේ. ඉදිරියටත් හොඳ නිර්මාණවලින් ප්‍රේක්ෂකයෝ අතරට එන්න ලැබෙයි. ඒ වගේ හොඳ කෙටි චිත්‍රපටයක් මම නිෂ්පාදනය කළා ‘ටෙඩි’ කියලා. කාන්තාවන් මුල් කරගත් කෙටි චිත්‍රපටයක් එය. හයිස්කූල් ජන්කි එක්ක එකතු වෙලා කරපු මේ චිත්‍රපටයත් ඔන්ලයින් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කෙටි චිත්‍රපට උලෙළක් සංවිධානය කරන්න අතගහලා තියෙනවා කියලත් ආරංචියි?

ලංකාවේ කෙටි චිත්‍රපට ගැන මිනිසුන්ගේ දැනුවත් වීම හරි අඩුයි. ඒ නිර්මාණ ඇගයෙනවත් අඩුයි. ඒ නිසා ස්කූප් සිනෙමා, තිසර ඉඹුලාන ෆිල්ම් සහ මම එකතු වෙලා ඩ්‍රීම් මේකර් කියලා කෙටි චිත්‍රපට උලෙළක් මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න සූදානම් කරගෙන යනවා. පළමු අදියරේ අපිට ලැබුණ කෙටි චිත්‍රපට 25න් දෙකක් අපි තෝරා ගත්තා. තව චිත්‍රපට දෙකක් තෝරගන්න තියෙනවා. ලංකාවේ කෙටි චිත්‍රපට සංස්කෘතියක් ඇති කරලා, හොඳ නිර්මාණකරුවෝ එළියට අරගෙන නිර්මාණකරුවෝ අතර හොඳ නිර්මාණ කරන්න තරගකාරීත්වයක් ඇති කරන්න ඒ හරහා නැවැත හොඳ සිංහල සිනමා සංස්කෘතියක් ඇති කරන්න අපට ඕනේ. සිංහල සිනමාවෙන් ප්‍රේක්ෂකයෝ ඈත් වෙලා නෑ. ගජමෑන් වගේ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තියලා ඒක ඔප්පු කළා. හොඳ අන්තර්ගතයන් තිබ්බොත් ප්‍රේක්ෂකයෝ සිංහල සිනමාවටත් ළං වෙනවා.

යුරේනි වැඩක් භාර ගනිද්දි මුදල කියන කාරණය ගැන ගොඩක් හිතනවද?

අපි කාලා ඇඳලා ඉන්නේ කලාව කියන වෘත්තියෙන්. ඒ නිසා මුදල ගැන අනිවාර්‍යයෙන් හිතනවා. වාණිජමය පරමාර්ථයෙන්ම වැඩ කරද්දි යමක් කරන්න තියෙන සාමාන්‍ය චරිතයක් වුණත් මුදල ගැන හිතලා කරන අවස්ථා තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයක මට ඒ චරිතය කළ යුතුමයි. මම ඒ චරිතයට ආදරෙයි කියලා දැනුණ තැන්වල මුදල දෙවැනි තැනට දාලා වැඩ කරපු අවස්ථාත් තියෙනවා.

හම්බ කරන අරමුණට එහා ගිය අරමුණක් මේ කලාව ඇතුළේ ඔබට ඉෂ්ට කරගන්න තියෙනවද?

කලාවෙන් මිනිස්සු සතුටු කරනවා වගේම අපිත් හම්බ කරලා අපිත් සතුටින් ජීවත් වෙන්න ඕනේ. සල්ලි නැතුව වැඩ කරලා අපි හිඟන්නෝ වෙලා හරියන්නේ නෑනේ. අපි සතුටින් ඉන්න නම් මුදල කියන කාරණයත් වැදගත්. කලාව කියන්නේ මම ගොඩක් ආදරේ කරන දේවත්වයෙන් වගේ සලකන දෙයක්. මට නමක් හැදුණා නම්, දෙයක් ලැබුණා නම් ඒ ලැබුණේ ඒ කලාව නිසා. මම සාමාන්‍යයෙන් දෙයක් කරලා ඒ ගැන අනෙක් අයට කතා කරන්න දෙන කෙනෙක්. කලාව වෙනුවෙන් ඉටු කරන්න මට ලොකු අරමුණක් තියෙනවා.

යුරේනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ද?

මම ළඟදි තමයි දැන ගත්තේ මාකටින් පැත්ත ගැන ඉගැන්වීම් කරන සමහර අධ්‍යාපන ආයතනවල ගුරුවරු මාව බ්‍රෑන්ඩ් එකක් විදිහට ළමයින්ට උගන්වනවා කියලා. ඒක මට සතුටක්. මම හැමදාම හිතුවා මම බ්‍රෑන්ඩ් එකක් කියලා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා. මේ කාලය ඇතුළත ගොඩක් අය ක්ෂේත්‍රයට ඇවිත් ගිහින් තියෙනවා. නමුත් මම මේ අවුරුදු 15 පුරාම ස්ථාවරව ඉඳලා තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් මිනිස්සුන්ගේ හිත්වල හැමදාම තියෙනවා. ක්ෂේත්‍රයෙන් හෙට අයින් වුණත් යුරේනි නොෂිකා කිව්වම මාව මතක් වෙන චරිතයක් වෙලා ඉවරයි. ඒක ලොකු වාසනාවක්.

ඔබ ඉදිරිපත් කරන රූපවාහිනි වැඩසටහනක ඔබ කතා කරන දේවල් මේ දවස්වල හරි හරියට කතා බහට ලක්වෙනවා. මොනාද මේ යුරේනි කරන්නේ?

ලංකාව ඉන්නේ ලෝකය එක්ක බලද්දි අවුරුදු සියයක් විතර පිටිපස්සෙන් වගේ. නමුත් අපි ලෝකය එක්ක යම් මට්ටමකට පෑහෙන්න ඕනේ. අපේ ආසන්නම රට වුණ ඉන්දියාව ගත්තත් වැඩසටහන්වල හරි තාත්වික ප්‍රශ්න අහන්නේ. දැන් සමාජ මාධ්‍යවල වුණත් මිනිස්සු තමන්ගේ සැබෑව පෙන්වනවා. නිදහස්ව ජීවත් වෙනවා. එහෙම කාලෙක මම කැමැති මම කරන වැඩසටහනක වුණත් යථාර්ථවාදී දේවල් කතා කරන්න. මගේ ෂෝවලට එන අය බර ප්‍රශ්න අහලා කොටු කරනවට වඩා මවාගෙන උත්තර දෙන තැනට පත් කරනවට වඩා නිදහසේ සැහැල්ලුවෙන් කතා කරන තැනට පත් කරන්නයි මට ඕනේ. ඒ හරහා විවෘතව සමාජයට පණිවුඩයක් දෙන්නයි ඕනේ. කරන්න හොඳ දේවල් ඇයි අපි විවෘතව කතා කරන්න බය වෙන්නේ. ඉතිං මම කරන්නේ විවෘත සැහැල්ලු කතාබහක්.

ඔබත් එහෙම විවෘතව ජිවිතේ විදින කෙනෙක්ද?

ඔව්. අපේ තරුණ කාලේ අපි හිරවෙලා ජීවත් වුණේ. මම ක්ෂේත්‍රයට එන කාලේ කොටට අඳින එක මාර වැරැද්දක්. මට මතකයි මගේ පළමු පෙම්වතා එක්ක මට එළියට යන්න ලැබුණේ නෑ. ආච්චියි මමයි ජීවත් වුණ ගෙදරට ඇවිත් තමයි එයාට මාව හම්බවෙන්න වුණේ. අපි අත් අල්ලගන්නෙත් හොරෙන්.

අද ඒ තත්ත්වයන් ගොඩක් වෙනස් වෙලා. අද තරුණ ළමයි ගොඩක් නිදහස භුක්ති විඳිනවා. නිදහස විඳිද්දි දැන ගන්න ඕනේ හරි විදිහට නිදහස භුක්ති විඳින්න.

අපේ ආයු කාලය ඉක්මනින් ගෙවිලා යනවා. මට හිතෙන දෙයක් තමයි අපි ඇයි ඒ කාලය අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ. තව කෙනෙක්ගේ ඇහෙන් බලද්දි අපි ජීවත් වෙන විදිහ වැරැදි වෙන්න පුළුවන්. නමුත් මේක මගේ ජීවිතය. මම කරන දේවල්වලින් වෙන හොඳ හෝ නරක බලපාන්නේ මට. ඒ නිසා තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම වැරැද්දක් කළොත් ඒකෙන් මම පාඩමක් ඉගෙන ගනියි. ලෝකයා මොනවා කිව්වත් මම මට ආස, මට ඕන දේ කරනවා. මම ජිවිතය විඳින්න ආස කෙනෙක්.

විවාහ වෙන්නේ නැත්තෙත් ඔය නිදහස අහිමි කරගන්න තියෙන බයටද?

මම බදින්නන්වාලේ බඳින කෙනෙක් නෙමෙයි. මට කාවහරි හිතට දැනෙන්න ඕනේ. මගේ නිදහස සීමා කරන කෙනෙක්ව නම් ජීවිතේට බඳින්නේ නෑ. මාත් එක්ක නිදහසේ ජොලියේ ඉන්න කෙනෙක් එක්ක තමයි ජීවිතය ගෙවන්න කැමැති. එහෙම කෙනෙක් හම්බුණොත් බලමු. එහෙම නැති වුණොත් අනවශ්‍ය කරදර දාගන්න යන්නේ නෑ.

ඔබව මතුපිටින් දකින කෙනෙක් හිතන්නේ ඔබ සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවිතය ගෙවන කෙනෙක් කියලා. හැබැයි ඔබ ඊට වඩා වගකීම් සහගතව වැඩ කරන කෙනෙක් නේද?

මම සීරියස් වෙන්න ඕන තැන්වල හරිම සීරියස්. හැබැයි මම සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ප්‍රශ්න ඔළුවට දාගෙන ඒ මත්තේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. පරිණත වෙද්දි, ජීවිතයේ අත්දැකීම් ලබද්දි මම ආධ්‍යාත්මිකව දියුණු වෙමින් පවතින කෙනෙක්. එහෙම වෙද්දි අපි ලෝකය දිහා බලන්නේ වෙනස් ඇහැකින්. මගේ මේ තියෙන ජනප්‍රියත්වය එක රැයකින් වුණත් නැති වෙන්න පුළුවන්. ඒ යථාර්ථය දැනගෙන සරලව සුන්දරව මම ජීවත් වෙනවා.