බිකිනි ඇන්ද පලියට ගැහැනියක් ගණිකාවක් වෙන්නේ නැහැ – ඩිල්රුෆා ෂනාස්

0

පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඩිල්රුෆා ෂනාස් හිටි හැටියේ ක්‍ෂේත්‍රයෙන් නොපෙනී ගියා. හැමෝම හිතුවෙ ඇය මේ සියල්ල හැරදාල විදෙස්ගත වුණා කියලයි. ඇත්තටම එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇය මේ විරාමය අරගෙන තිබෙන්නේ ජීවිතයේ අලුත්ම අත්දැකීම් සමඟ යළි කරළියට එන්නයි. ඩිල්රුෆා ඒ සැලසුම හැදුවෙ කොහොමද කියල අපට කිව්වේ මේ ආකාරයට.

ඩිල්රුෆා කාලෙකට පස්සෙ වැඩ පටන් ගත්තා නේද?

ඔව්. මම පසුගිය කාලයේ ව්‍යාපාර වැඩ කටයුතු කිහිපයකට අතගැසුවා. ඊට පස්සෙ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. දැනට මම චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා’

නිරූපණයෙන් ඈත් වුණේ ඇයි?

පාඨමාලා කිහිපයක් හදාරන්න කියල හිතාගෙන නිරූපණයෙන් ඈත් වුණා. මම ක්‍ෂේත්‍රයට ආවෙ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන්. ඊට පස්සෙ තමයි මම නිරූපිකාවක් විදිහට වැඩ කළේ. අන්තිමේ නිවේදිකාවක් විදියටත් කාලය ගෙව්වා. ඔය අතරෙ තමයි විදෙස්ගත වුණේ” පාඨමාලා කීපයක් හදාරන්න. ඒකෙන් ඒ ටික මට මඟහැරුණා.

දැන් රෑම්ප් මොඩ්ලින් කරන්නේ නැතිද?

රෑම්ප් මොඩ්ලින් කරනකොට බොඩි එක එක විදිහට තියාගෙන ඉන්න ඕනෑ. මම හිට් මොඩ්ලර් කෙනෙක් විදිහට වැඩ කරන්න ගන්නකොට ඒකෙ මෙෂර්මන්ට් මට මේන්ටේන් කරන්න සිද්ධ වුණා. එතකොට මට රෑම්ප් එකට ඕනෑ බොඩි එක තියාගන්න බැහැ. ඒ හින්ද ටිකක් විතර රෑම්ප් මොඩ්ලින් වලින් ඈත් වුණා. ඉඳල හිටල බ්‍රයිඩ්ල් ෂෝවලට යනවා.

නිරූපණය එපා වෙලාද?

එහෙම නැහැ. දැන් මම ව්‍යපාර කටයුතුවලට තමයි මූලිකත්වය දෙන්නේ.

මොනවද ව්‍යාපාර කටයුතු?

ලකීස් බියුටි සැලුන් කියලා ආයතන තුනක් පවත්වාගෙන යනවා. ඒකෙ මම සාමාජිකාවක් විදිහට ඉන්නවා.

කාලෙකින් චිත්‍රපටයකුත් කළා?

මගේ මුල්ම චිත්‍රපටය ගිනිමල් පොකුරු. ඒකට ආරාධනා ලැබුණේ චුලක්‍ෂි හින්දයි. ළඟදී මම උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනය කළ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒක වෙනස් අත්දැකීමක්.

තිරයේදී ක්ලීටස්ට පෙම් කරන්න හම්බවුණා කියන්නේ?

ඒක ඇත්තටම වෙනස් චරිතයක්. රාමුවෙන් පිටතට ගිහින් කරන ආදරයක් ගැන තමයි කියැවෙන්නේ. ඒ ගැන දැන්ම වැඩිය කතා නොකර ඉමු.

මේක අසම්මත ආදර කතාවක්?

ආදරයේදී සම්මත අසම්මත කියන දේවල් ගොඩක් පිළිගන්න කෙනෙක් නෙමෙයි. ආදරයක් ඕනෑම කෙනකුට හිතෙන්න පුළුවන්. ඒක කොටුකරලා රාමුවකට සීමා කරන්න බැහැ. චිත්‍රපටය බැලුවොත් ඒ ආදරය තේරුම් ගන්න පුළුවන් වෙයි.

රඟපෑම ලෙහෙසි ද?

ගොඩක් මිනිස්සු හිතන්නෙ නළුවෙක් නිළියක් වෙන එක හරි ලෙහෙසියි කියලා. නමුත් ඒක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි.

රඟපෑම මොඩ්ලින් තරම් ලේසි නැහැ නේද?

නැහැ. අනිවාර්යයෙන්ම ලේසි නැහැ. අනික මොඩ්ලින් කියන්නේ වෙනම ෆීල්ඩ් එකක්. රෑම්ප් එකක් උඩදී මට ඒ අත්දැකීමත් තියෙනවා. තව දෙයක් මොඩ්ලින් කියන්නෙත් ලේසි දෙයක් නෙමෙයි. දිග කොට එක එක විදිහෙ ඇඳුම් අඳින්න වෙනවා. අද කාලෙ ගොඩක් කට්ටිය මොඩ්ලර්ස්ලාට නළු නිළියන්ට එක එක කතා කියනවා. ඒ වුණාට ඒ ජොබ් එක කරන කෙනයි ඒකෙ අමාරුව දන්නේ.

බිකිනි අඳින නිරූපිකාවන් අපේ රටේ බොහෝ විට ගැරහීමට ලක්වෙනවා?

බිකිනි එකක් කියන්නෙ ඇඳුමක් විතරනේ. මොඩ්ලර් කෙනෙක් වුණාම සමහර වෙලාවට බිකිනි අඳින්න වෙනවානේ. මම හිතන්නේ ඇඳුම නෙමෙයි වැදගත්. ඒ බලන කෝණයයි මිනිස්සු වෙනස් කර ගන්න ඕනෑ. මොකද බිකිනි එකක් ඇන්ද කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැනේ. හැබැයි දිගට ඇන්ද කියල ගැහැනියක් හොඳ වෙන්නෙත් නැහැ.

ඇඳුමෙන් මිනිස්සු මනින්න බැහැ?

ඔව් බිකිනියෙන්වත් දිගට කොටට ඇඳීමෙන්වත් නෙමෙයි හොඳ නරක තීරණය වෙන්නේ. අනික ඇඳුමෙන් ගැහැනියෙක් මනින්න එපා කියලා මම කියනවා. ඇයගේ ගතිගුණ ගැන සොයා බලන්න බොඩි ෂේප් එක ලස්සන නම් බිකිනියක් ඇන්දට ප්‍රශ්නයක් නැහැනේ. අපි රෑම්ප් එකකටනෙ ඒක අඳින්නෙ පන්සලකට නෙමෙයිනේ. පූල් එකකට බිකිනියක් අඳින එක විවේචනය කරනවා නම් මට අහන්න තියෙන්නෙ පූල් එකකට සාරියක් ඇඳගෙන යන්න ද කියලා තමයි. එහෙම ඇන්දොත් අන්තිමට කියයි අර ගෑනිට පිස්සු ද පූල් එකට සාරි අඳින්නේ කියලා.

ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැතිද?

ඇත්තටම ටෙලි නාට්‍ය කිහිපයකටත් මට ආරාධනා ලැබුණා. එන්න අදහසක් නැතිකම නෙමෙයි තියෙන්නේ. ගොඩක් වෙලාවට රූගත කිරීම් කරන්නෙ මෙගා නාට්‍යවල. ඉතිං එක දිගටම ඒවායේ රැඳිල ඉන්න එපායැ. මම කැමති මගේ අනිත් කටයුතුත් සමබරව කරගෙන මේ ක්‍ෂේත්‍රයේ රැඳිල ඉන්න. ඉතිං වැඩිපුර කැමති ෆිල්ම්වලට තමයි.

ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

හොඳ වගේම නරකත් තිබෙනවා. පසුතැවීම්වලින් මම දෙයක් ඉගෙන ගත්තා. මිසක් ඒවායින් වැටුණේ නෑ. මම හිතනවා ලයිෆ් එක හැමදාම එක වගේ නැහැනේ. අනික මට එහෙමට ලොකුවට දුක්වෙන්න තරම් දේවල් නෑ.

ඩිල්රුෆා කියන්නේ කවුද?

මම දැනුවත්ව කාටවත් වැරැද්දක් කරලා නෑ. මමත් මනුස්සයෙක් විදිහට ආස දේවල් ආස නැති දේවල් ඇති. හැබැයි මම දැනුවත්ව කාටවත් වැරැද්දක් කරන්න ට්‍රයි කරන කෙනෙක් නෙමෙයි.

ඔබ ආදරයෙන් පැරදුනා?

ආදරයෙන් පැරදිලා තියෙනවා. මොකද මට සම්බන්ධකම් දෙක තුනක්ම තිබිල තියෙනවා. ඒවා පොඩි කාලවල්වල තිබුණ ඒව තමයි. අවුරුදු පහ හය වගේ කාලවල තිබුණු ඒවා. ඒවත් එක්ක ආදරය ගැන සමහර වෙලාවට කලකිරීම් තිබෙනවා. ඒ වෙලාවට කරපු හොඳ දේවල් ගැන හිතල මම හිත හදාගන්නවා. මම ඒගොල්ලන්ට කරදරයක් වෙන්න ගිහින් නෑ. එපානම් එතැනින් හොඳින් අයින් වෙන එක තමයි හොඳම දේ.

දාල ගිය අයට වෛර කරන්නෙ නෑ?

දුක හිතෙන තැන් තිබෙනවා. අනික වෛර කරනවාට වැඩිය ඇයි මට මෙහෙම කළේ කියලා හිතෙනවා. අනික අද කාලෙ අවංක ආදරයක් හම්බ වෙන්නත් කෙනෙක් ලොකු පිනක් කරල තියෙන්න ඕනෑ කියලයි මට හිතෙන්නෙ.

අද ඔබට ඒ හැඟීම දැනෙන්නෙ කොහොමද?

ඒ හිටපු කාලයේ කරපු ආදරයේදී ඒගොල්ලො බොරුවක් ද ඇත්තක් ද කළේ කියන්න මම දන්නෙ නැහැ. නමුත් ඒගොල්ලො දුන්න සමහර කෙයාරින්වලට මම කැමතියි. සමහර වෙලාවට මගේ අඩුපාඩුවක් හින්ද හරි එයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙලා හරි කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. ඉතිං ඒ ගැන රණ්ඩු කරල වැඩක් නෑ. කොරෝනා කාලෙ මම හරියට රණ්ඩු කරල තියෙනවා. කාලයක් යද්දී මම හිතුවා එහෙම කරන එක තේරුමක් නැහැ කියලා. කාවවත් බලෙන් තියාගන්න එක තේරුමක් නෑ. ඉන්න කෙනෙක් ඉඳීවි. යන්න හිතෙන කෙනෙක් යාවි. ඕකයි ඇත්ත.

– මහේෂ් එදිරිසිංහ