සිංහල බෞද්ධ ඡන්ද බලාගෙන ඉරාන ජනපති හමුවීම ප්‍රතික්ෂේප කළ සජිත් : මුස්ලිම්වරුන් පිළිකුලෙන් යුතුව හෙළා දකියි

0

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉබ්‍රාහිම් රයිසි මහතා හමුවීම සඳහා මෙරට විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබා දුන් ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීම මේ වන විට මතභේදයට තුඩු දී තිබෙනවා.

ඒ අනුව එය ඉරාන ජනාධිපතිවරයා සහ ඉරාන ජනතාව පහත් කොට සැලකීමක් බවට මත ඉදිරිපත් වී තිබෙනවා.

විශේෂයෙන් ඉරාන ජනාධිපතිවරයාගේ ලංකාවේ සංචාරය මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රබෝධයට හේතුවක් වූ අතර සජිත් ප්‍රේමදාස එම අවස්ථාව මඟ හැරීම හිතා මතා ඔවුන් නොසලකා හැරීමක් බවයි මුස්ලිම් සමාජයේ මතය වී ඇත්‍තේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව 24 වැනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලි ලෙස පිළිගනු ලැබූවා.

ඒ ආචාර වෙඩි මුර 21ක් සහිත ත්‍රිවිධ හමුදා වර්ණ ධජ ගණයන්ගෙන් සමන්විත සම්මාන මුරයක් ද පිරිනමමිනි.

නායකයන් විසින් දෙරටේ දූත පිරිස හඳුන්වා දීමෙන් අනතුරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබුවා.

සිය සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති රයිසි මහතා ජනාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව නායකයන් අතර සුහද කථා බහක් සිදු වූ අතර දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම, දේශපාලන, සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ද නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවත්වුවා.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබීම ද දෙරටේ නායකයන් ඉදිරියේ සිදු වුණා.

ඉන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණු අතර එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධන කර තිබු නමුත් ඔහු එය මඟහැරීමට කටයුතු කර තිබුණා.

ඉරාන ජනාධිපතිවරයා සමග එක මේසයක, ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අසුන් පනවා තිබූ බව සඳහන්.

බොහෝ අවස්ථාවල දී දේශපාලන අවස්ථාවාදය අනුව කටයුතු කරන කිසිවිටක සෘජු දේශපාලන අදහස් ප්‍රකට නොකරන නායකයෙක් ලෙස මෙම අවස්ථාව ද සූක්ෂම ආකාරයෙන් මඟ හැර යාමට ඔහු කටයුතු කර ඇති බවයි මේ පිළිබඳ අදහස් පළ කරන අය පවසන්නේ.

ඉරාන ජනාධිපතිවරයා හමුවීම තුළ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වේයැයි අනියත බියකින් ඔහු එම අවස්ථාව මඟ හැර ඇති බවත් ඒ අනුව ඔහු අවස්ථාවාදී ලෙස මෙරට සුළුතර ජනකොටසක් අපහසුතාවට සහ අපහාසයට ලක් කර ඇති බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊශ්‍රායලය සහ ඇමරිකාවේ විරෝධය නොතකමින් ඉරාන ජනාධිපතිවරයා ලංකාවට ගෙන ඒමට ක්‍රියා කළේ මුස්ලිම් ඡන්ද පදනම ඉලක්ක කරගෙන බවට ද සජිත්ගේ ක්‍රියා කලාපය තුළ ඔහු අභිබවා රනිල් එහි දී ලකුණු රැස් කරන ලද බව පෙනී යන්නේ යැයි ද ඔවුන් සඳහන් කර තිබෙනවා.