ආගමික නායකයෝ හැටියට අහස උසට පෙති පිළිම හදලා, ලක්ෂ ගණන් කෝටි ගණන් එකතු කරනවාට වඩා අපි මේක ව්‍යාපාරයක් කර ගන්නාවාට වඩා මිනිස්සුන්ගේ සුව සෙත පිණිස, යහපත පිණිස අපේ ආගමික නායකයෝ කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්නවා නම් මම හිතන්නේ ඉතාම වැදගත් යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා.
මාධ්‍ය නියාමනය කරනවා සේ මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන අයුරින්ම භික්ෂු ශාසනයද නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.
ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ දැක්වූ අදහස් සැකවින් මෙසේය.
“ඇත්තටම ලංකාවේ තියෙන ආගමික සිද්ධස්ථාන ජනතාවට බරක් වෙච්ච බවක් තමයි පේන්නේ. මම හිතන්නේ ආගමික සිද්ධස්ථානයක් ජනතාවට බරක් විය යුතු නැත. සැහැල්ලුවෙන් තමන් අදහන ආගමික ස්ථානයට ගිහිල්ලා තමන්ට අවශ්‍ය පරිදි තමන් අදහන ආගම අදහලා මනස සුවපත්ගෙන එන්න පුළුවන් පරිසරයක් තැබිය යුතුයි. දැන් අපේ රටේ කිසිදු ආගමික සිද්ධස්ථාන එවැනි තත්ත්වයක් නැති බව තමයි පේන්න තියෙන්නේ.
එහෙම වෙනකොට දැන් අපි ආණ්ඩුවක් පත් කරගත්තා. ඒකේ එකසිය පනස් ගානක් ඉන්නවා. එතකොට ඒ ආණ්ඩුව යහපත් මාර්ගයක ගමන් කරන කොට, උත්සාහ කරන කොට ආගමික නායකයෝ හැටියට අපේ පැත්තෙන් යම් කාර්යභාරයක් සිදුවිය යුතුයි අනිවාර්යෙන්ම.
අපි ඉන්නේ ඇයි? අණ්ඩුවට මේ මිනිස්සුන්ගේ ඔළු හදන්න බෑ. ආණ්ඩුවට පුළුවන් අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ සංවර්ධනයක් ඇති කරලා ඒ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ පුංචි ළමයාගේ ඉඳලා මනස වෙන ආකල්පමය වෙනසක් ඇති කිරීමේ ක‍්‍රියාදාමයක් කරන්න.
මරණයේදී ඒ වගේම දානේ ගෙදරදී, උත්සවයේදී පෝය දවසේ හැම තැනකම දීම ආගමික නායකයෝ තමයි ජනතාව මුණ ගැහෙන්නේ. ඒ නිසා ආගමික නායකයෝ හැටියට අපට පුළුවන් වෙන්නට අවශ්‍යයි තමන්ගේ මේ හතර පේරුවේ දායකදායිකාවන්ගේ මනස සුවපත් කිරීම සහ මනස යහපත් පැත්තට යොමු කර ගැනීම. එහෙම දෙයක් අද අපට පේන්න නෑ.
සමහර අය බිත්ති බැඳගෙන තාප්ප දාගෙන අහස උසට පෙති පිළිම හදාගෙන. සමහර අය විවිධ විදිහට ධර්ම දේශනා කරමින් රට පුරා යන බව පේනවා. හැබැයි ඒකෙන් මිනිස්සුන්ගේ ඔළු හැදෙන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි මේක වෙනස් කළ යුතුයි. ඒක නිසා මම මේ රටේ ඉන්න සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා, මීට වඩා අපේ කාර්යභාරය වෙනස් විය යුතුයි. අහස උසට පෙති පිළිම හදලා, ලක්ෂ ගණන් කෝටි ගණන් එකතු කරනවාට වඩා අපි මේක ව්‍යාපාරයක් කර ගන්නාවාට වඩා මිනිස්සුන්ගේ සුව සෙත පිණිස, යහපත පිණිස අපේ ආගමික නායකයෝ කටයුතු කරන්න අධිෂ්ඨාන කර ගන්නවා නම් මම හිතන්නේ ඉතාම වැදගත් කියලා.
සමාජ මාධ්‍ය තුළ විවිධ අවස්ථාවල අපි දකිනවා භික්ෂූන් වහන්සේලා විවිධ අයුරින් හැසිරෙනවා. අශෝභන විදිහට හැසිරෙන අවස්ථා එමට දකින්නට ලැබෙවා. මේක මම හිතන්නේ පාලනය කරන්න ලංකාවේ මහානායක මාහිමිපාණන් වහන්සේලාට පාලනය කරන්න ක‍්‍රමවේදයක් නැත්ද කියලා මට හිතෙනවා. මම කියන්නේ මේකට රජයක් මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලා නියාමනයක් කළ යුතු තත්ත්වයටත් පත් වෙලා තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා මාධ්‍ය නියාමනය කරනවා වගේම මාධ්‍ය සංස්කෘතියක් ඇති කරනවා වගේම මේ භික්ෂූන් වහන්සේලාගේත් සංස්කෘතියත් ඒ වගේම නියාමනයක් කළ යුතු තත්වයට දැන් පත්වෙලා තියෙනවා.
ඒකට මම හිතන විදිහට රජය සහ බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශය ඒ වගේම ජනාධිපති කාර්යාලය ඒ වගේම මහානායක මාහිමිපාණන් වහන්සේලා මේ සියලු දෙනාම ඒකරාශී වෙලා මේකට වැඩ පිළිවෙළක් හදනවා නම් ගොඩක් වැදගත් වෙනවා. මොකද මේකෙන් බොහෝ භික්ෂූන් වහන්සේලාට පාරේ යන්න බැරි තත්වයක් ඉස්සරහට උදාවෙනවා. මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් බුද්ධ ශාසන අමාත්‍යංශයත් සමඟ ඒකාබද්ධ වෙලා ඒ වගේම ශාසනාරක්ෂක බල මණ්ඩල, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය, ඒ වගේම මහා නායක මාහිමිපාණන් වහන්සේලා මැදිහත් වෙලා අනිවාර්යයෙන් තමන්ගේ නිකායික භික්ෂූන් වහන්සේලා කළමනාකරණය කර ගැනීම සහ නියාමනය කර ගැනීම ඉතාමත්ම කාලෝචිතව ඉතා ඉක්මනින් කඩිනමින් සිදු කළ යුතුයි කියන එකයි මා විශ්වාස කරන්නේ.”