‘තිහස්වර’ට මේ තරම් ප්‍රේක්‍ෂකයෝ ආදරේ කරයි කියලා මම හිතුවේ නැහැ

0

“සැබෑ කුමාරයෙක් හමු වූ සියලු ගැහැනුන් කුමාරිකාවන්ය”. ඒ කුමාරයා නමින් තිහස්වර සමරනායකය. හිරු ටිවී නාළිකාවේ මේ දිනවල විකාශය වන “සංසාරිණි” ටෙලිනාට්‍යයේ තිහස්වරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය අතිශයෙන් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකර මෙවර අප සමඟ එක්වුණා.

ඒ “සංසාරිණි”, සල්ලි පොකුරු, පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” ඇතුළු ඔහුගේ කලා නිර්මාණවල රසමුසු තැන් අපත් සමඟ බෙදාහදා ගන්නටය.

තිහස්වර සමරනායක කියන්නද? නැත්තම් සාරංග දිසාසේකර කියන්නද?

මේ දවස්වල නම් තිහස්වර කිව්වත් කමක් නැහැ ඉතිං. මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ මට මේ ටිකේ කතා කරන්නේ නම් තිහස්වර කියලා තමයි.

ඉතින් තිහස්වරගේ චරිතයට මිනිස්සු මෙච්චරටම ආදරේ කරයි කියලා සාරංගට හිතුණද?

ඇත්තටම සංසාරිණි ටෙලිනාට්‍ය පිටපත කියෙව්වාම මට හිතුණා තිහස්වර කියන චරිතය මිනිස්සු ආදරෙන් වැලඳගනී කියලා. ඒත් මං හිතුවටත් වඩා ඒ චරිතය ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට මාව අරගෙන ගිහින්. ගොඩක් එපිසොයිඩ්, යූ-ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ආවා. ඒත් එක්කම හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර යූ-ටියුබ් ඔස්සේ ලැබෙනවා කමෙන්ට්ස් විදියට. සාමාන්‍යයෙන් අපේ ටෙලිනාට්‍යයකට ලැබෙනවට වඩා ප්‍රතිචාර දාහකට එහා ලැබෙනවා. ඉතින් ඒ නිසා හරිම සතුටුයි ප්‍රේක්ෂකයෝ ඒ ටෙලිනාට්‍ය සහ චරිතය ආදරයෙන් වැලඳගෙන තිබෙනවා කියලා හිතනකොට.

ගොඩක් ප්‍රේක්ෂකයෝ සමාජ ජාලාවල අදහස් පළ කරලා තිබුණා “සාරංගගේ චරිතය නිසා තමයි අපි සංසාරිණි බලන්න පටන් ගත්තේ” කියලා?

කලින් නාට්‍යයත් එක්ක රැඳිලා හිටපු ප්‍රේක්ෂකයන්ට යම් වෙනසක් දැනෙනවා ඇති. ඇත්තටම ඒක මට කියන්න බැහැ. මං විතරක් නෙවෙයි, හැබැයි චරිත කිහිපයක්ම වෙනස්වුණා. අලුතින් චරිත කිහිපයක්ම ආවා. මම, ටනාෂා, ධනංජි, දමයන්ති ෆොන්සේකා මහත්මිය ඔය වගේ කිහිපදෙනෙක්ම නාට්‍යයට ඇතුළු වුණා. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම තිර රචනය, අධ්‍යක්ෂණය, සංගීතය, කැමරාකරණය, වේශ නිරූපණය කියන ඔය හැමදේකම එකතුවක් තමයි මම සංසාරිණි ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය විදියට දකින්නේ. කොහොම වුණත් අපි නිර්මාණයක් කරන්නේ ජනතාව අතරට යන්න සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න. ඉතින් ඒක සිද්ධවෙනවා දකිද්දි පුදුම සතුටක් දැනෙනවා.

ඉතින් සාරංග, තිහස්වරගේ චරිතේ ගැනත් අපි කතාකරමු නේද?

ඔව්… තිහස්වර කියන්නේ ආදර්ශවත් චරිතයක්. සමාජය දිහා ධනාත්මකව බලන චරිතයක්. ඉතින් මට කමෙන්ට්ස් බැලුවම පේනවා, ඒ චරිතය දිහා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා කියලා. ගොඩදෙනෙක් කියනවා තිහස්වර අය වගේ අය ඉන්නවා නම් කොච්චර දෙයක්ද ලෝකේ වෙනස් තැනක් වෙයි. අපටත් එහෙම වෙන්න පුළුවන් නම් හොඳයි නේද කියලා. ඒ වගේ සාකච්ඡාවක් මේ චරිතේ ගැන තිබෙනවා. ඉතිං මම හැම වේලාවකම කැමැතියි පැතලි චරිත නැතිව උස්-පහත් වීම් තියෙන ගෝලාකාර චරිතයක් ලැබෙනවට. තිහස්වර වුණත් මම ආස නැහැ. හරිම හොඳ සුදු චරිතයක් වෙනවට. තිහස්වරගෙත් තියෙනවා පවුලෙන් ගෙනාපු පොඩි මාන්නයක්. ආඩම්බරකමක්. අනෙක් පැත්තට හරිම මොළොක් විධියට හිතන කෙනෙක්. ඒ අවස්ථාව තිර රචකයා මට හොඳින් හදලා දීලා තියෙනවා ඒ චරිතය ඇතුළේ. ඉතින් ඒ නිසාම තිහස්වරට සාධාරණයක් කරන්න මට පුළුවන් වුණා.

ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන “සල්ලි පොකුරු” ටෙලිනාට්‍යයේ සාරංග නිරූපණය කරන්නෙත් වෙනස්ම චරිතයක්. අපි ඒ ගැන කතා කළොත්?

ඔව්… සල්ලි පොකුරු කියන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර සහ ශිවගුරුනාදන් කියන මම ආසම සුසංයෝගයේ නිර්මාණයක්. ඒ සුසංයෝගය මට වාසනාවන්ත සහ සාර්ථකම සුසංයෝගයක්. මොකද අතීතයට ගියාම අතිශයෙන්ම ජනප්‍රිය වුණු “හාරකෝටිය, කෝටිපතියෝ, හංස පිහාටු, කළු කුරුල්ලෝ, අග්නි පියාපත් සහ පාර වසා ඇත” මේ වගේ ගොඩක් ජනප්‍රිය වුණු විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලබාදුන්න දෙපළක් තමයි ඒ. ඉතිං ප්‍රේක්ෂකයෝ ඉතාමත් ආදරයෙන් අදටත් ඒ චරිත ගැන කතා කරනවා. ටික කාලෙකට පසුව තමයි මම ඒ දෙදෙනාගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. ඉතිං මේකත් මම කලින් කළාට වඩා වෙනස් චරිතයක් සහ මට අභියෝගාත්මක චරිතයක්. ඒ කාරණා නිසාම “සල්ලි පොකුරු” මට විශේෂ වෙනවා. ඒ වගේම ශෙනායා එක්කත් පළමු වැනි වතාවට තමයි මම රඟපාන්නේ. ඉතින් ඒ සුසංයෝගයත් මම හිතනවා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා.

එතකොට සාරංගගේ චිත්‍රපටයක් ළඟදීම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවිද?

ඔව්… සිනමාව පැත්තෙන් තේජා ඉද්දමල්ගොඩ මහත්මයා අධ්‍යක්ෂණය කරන තවමත් නමක් යොදලා නැති චිත්‍රපටයක සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න මට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ සිනමා නිර්මාණයේ තවම වැඩකටයුතු අවසන් නැහැ. තව මගේම අධ්‍යක්ෂණයක් විදියට සිනමා නිර්මාණයක් ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. ඒකෙත් වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඒක ඉතින් පොඩි සප්‍රයිස් එකක් දැනට.

කොහොමද චූටි ‍ෙදා්ණිත් එක්ක ගෙවන ජීවිතේ?

අති සුන්දරයි… ඉතින් එයා බලන් ඉන්නකොට ලොකුත් වෙනවා දවසින් දවස. හැබැයි හරිම හුරතල්. දැන් ඉතින් වචන අහුලගෙන කතා කරන කාලේ. එයයි ශේෂාද්‍රිගේ බබයි තමයි දැන් අපේ පවුලේ සුරතල් වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙන්නා එක්කම තමයි අපේ පවුලේ හැම වැඩකටයුත්තක්ම සිද්ධ වෙන්නේ. හරිම සුන්දර කාලයක් ගත වෙනවා ඒ දේවල් එක්කම.

සාරංග – දිනක්ෂි සුසංයෝගයෙන් කරන කලා නිර්මාණයක් එනකම් ප්‍රේක්ෂකයන් මඟ බලාගෙන නේද ඉන්නෙ?

අපි දෙන්නා ඉතින් කවදාවත් මම රඟපානවා නම් එයා රඟපාන්න ඕනේ. එයා රඟපානවා නම් මම රඟපාන්න ඕනේ. අපි දෙන්නා තමයි එකට රඟපාන්න ඕනේ. කියලා කොන්දේසි කවදාවත් තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්නටම ගැළපෙයි කියලා හිතෙන චරිත දෙකක් තිබුණොත් අපිට කතා කරනවා. එහෙම තමයි ඉතින් මෙච්චර කල් වුණේ. හැබැයි අර මම කියපු තේජා ඉද්දමල්ගොඩ මහත්මයාගේ චිත්‍රපටයේදී දිනක්ෂිත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම “අළුපාට දේදුන්න” කියන ටෙලිනාට්‍යයක් ඉදිරියේදී එන්න තිබෙනවා ඒකෙදි දිනක්ෂිවයි මාවයි ආදරණීය ප්‍රේක්ෂකයන්ට එකට දකින්නට ලැබේවි.

මේ වෙනකොට ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට සාරංගට නවක නළු නිළියන් පිරිසක් සමඟ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම කොහොමද?

ඔව් ඇත්තටම ඒක හොඳයි. මටත් දැන් දැන් තමයි නවක පරම්පරාව එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ. ජෙනරේෂන් දෙකක්. ඉතින් අත්දැකීම් වෙනස්, එයාලට ජීවිතේ හමුවෙලා තිබෙන විධිය, අපිට ජිවිතේ හමුවෙලා තියෙන විදිය වෙනස්. ඉතින් ඒ වෙනසත් එක්කම දෙගොල්ලන්ගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අලුත් පරම්පරාව හෝ වේවා, අපේ පරම්පරාව හෝ වේවා මම ඉස්සෙල්ලාම බලන්නේ නිර්මාණය ඉහළට ගෙනියන්න පුළුවන් දායකත්වය ලබා දෙන්නේ කොහොමද, ටීම් එකක් විධියට වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් අලුත් පරම්පරාවට මම දන්න දෙයක් කියලා දීලා එයාලගෙන් ගන්න දෙයක් තිබෙනවා නම් ඒ නැවුම් දේ අරගෙන එහෙම තමයි ඉතින් සහයෝගයෙන් වැඩ කරගෙන යන්නේ.

ඉතින් සාරංග ඔයාට අලුත් අයට දෙන්න පණිවුඩයක් තියෙනවද?

මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් තමන්ගේ වෘත්තියට අවංක වෙන්න කියලා තමයි. ඒ කියන්නේ ජනප්‍රියත්වය වේවා, මුදල් හෝ වේවා, සමාජ තත්ත්වය හෝ වේවා. මේ හැම දෙයක්ම මේ වෘත්තිය හරහා ලැබෙන්නේ අපි සියයට සියයක්ම සහ ඊට වඩා මේ වෘත්තියට අවංක වුණාම. ජනප්‍රියත්වය අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ට තියෙන දක්ෂතාව, වෘත්තීයමය භාවය නැතිවෙන්නේ නැහැ. එතකොට තමන් ඒ වෘත්තීය ගරුත්වය තමන් කරන නිර්මාණයට, තමන් එක්ක වැඩ කරන ටීම් එකට ලබා දෙනවා නම් දිගු ගමනක් මේ ක්‍ෂේත්‍රයේ යන්න පුළුවන්. සමහර තැන්වලදී වෙලාවකට මම දකිනවා ලැබෙන ජනප්‍රියතාවයෙන් සමහර අය වල්මත්වන අවස්ථා. එතකොට අපි ආපු වැඩේ අමතක වෙනවා. එහෙම වුණාම වෘත්තිය ඇතුළේ ස්ථාවරත්වයක් නැති වෙනවා.

– දුලී සමන්මලී නැලිගම