රුස් විහිදෙන අඹුසැමි යුවල..

0

මහනුවර, ගලගෙදර තලගහහේන උඩුව කළුවාන ගම්මානයේ සිරුරෙන් ආලෝකධාරා විහිදෙන අඹුසැමි යුවලක් පිළිබද වාර්තා වේ. යුවළගේ සිරුරෙන් ස්ථිති විද්‍යුතය හේතුවෙන් එළි පිටවෙන බව සදහන් වේ.

මෙම යුවල, සැමියා අවුරුදු 37 හැවිරිදි ආර්. එම්. සෙනෙවිරත්න වන අතර ඔහුගේ බිරිද ඩබ්ලිව්. ඩී. ශ්‍රියානි කුමාරි හේරත් මහත්මිය වන්නීය.

වේගයෙන් සිරුර පිරිමදින විට නිකුත් වන ආලෝක ධාරාවල එළිය තරමක් වැඩි දීප්තියෙන් පෙන්නුම් කරනු ලැබේ. ශ්‍රියානි මහත්මියගේ සිරුරෙන් මේ විදිහට ආලෝකධාරා පිටවන බව මුලින්ම දැනගත්තේ අවුරුදු 13 ක විතර වයසේ පසුවන කාලයේදී බවත්, වැඩියෙන්ම ආලෝක දහරා පිට කරන්නේ තමා බවත් ශ්‍රියානි මහත්මිය පවසන්නීය.

ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා, කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා, මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මිය සහ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන චන්දිම පතිරණ මහතා ද මේ පිළිබද සොයා බැලීම සදහා මෙම අඹුසැමි යුවල හමුවීම සදහා එක්ව සිටියහ.

අඹු සැමි යුවළගෙන් නිකුත් වන ආලෝක දහරා ඡායාරූප සහ වීඩියෝගත කිරීමට ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය චන්දීප පතිරණ නොගත් උත්සාහයක් නොමැත. එහෙත් ඒ උත්සාහය නිශ්ඵල විය.

මොවුන් දෙදෙනාගේ සිරුරුවලින් නිකුත් වෙන ආලෝක දහරා ඡායාරූපවල දක්නට නොවීය. අඹු-සැමි යුවළගේ සිරුරු වලින් ආලෝක දහරා නිකුත් වෙන බවට හොඳම සාක්කි සපයන්නේ එහි සිටි අය පමණි.

“ෆොටෝ ගත්තාට වැඩක් නෑ. අපේ සිරුරේ ඇතිවන ආලෝක දහරා ෆොටෝ වලට වැටෙන්නේ නැහැ” යැයි අඹුසැමි යුවළ මුලින්ම පැවසූහ.

ආලෝක දහරා ඡායාරූප ගත කිරීමට හා වීඩියෝ ගත කිරීමට උත්සාහ කළේ ඔවුන් කියන දේ නොතකා හරිමින් ය. ඔවුන් දෙදෙනා කීවේ ඇත්තක් බව පසුව වැටහිණි.

මේ පිළිබද මුලින්ම අදහස් දැක්වූයේ ශ්‍රියානි මහත්මිය සමගය.

“මගේ සිරුරෙන් මේ විදිහට ආලෝකධාරා පිටවන බව මම දැනගත්තේ අවුරුදු 13 ක විතර වයසේ පසුවන කාලයේදී. ඒ වෙනකොට මම ඉස්කෝලේ යනවා. මගේ ඇඟෙන් ආලෝකධාරා පිටවන බව මුලින්ම දැක්ක මොහොතේ මම බයටත් පුදුමයටත් පත් වුණා. මම නිදාගෙන ඉඳලා නැගිටින අවස්ථාවක තමා මගේ ඇඟෙන් අලෝක ධාරාවක් පිටවෙනවා දැක්කේ. මම අපේ අම්මයි තාත්තටයි පෙන්නුවා. අනේ අම්මේ මේ බලන්නකො මගේ ඇඟෙන් ආලෝක දහරා පිටවෙනවා කියා. ඔවුන් හොඳට බලලා කිව්වා එහෙම දෙයක් වෙන්නෙ නැහැ බොරු නොකියා ඉඳපන් දුවේ කියා. අම්මයි තාත්තයි එහෙම කිව්වත් මගේ ඇඟෙන් ආලෝක දහරා පිට වෙන බව මම හොදටම දැක්කා. අම්මයි තාත්තයි මම කියන දේ පිළිගත්තෙම නැහැ. ඇත්තෙන්ම මුල් වකවානුවේ අම්මටයි තාත්තටයි මගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බව පෙනිලා නැහැ.”

“ඔහොම ඉන්න අතරවාරයේ මට විවාහ යෝජනාවක් ආවා. ඒ විවාහ යෝජනාව බණ්ඩාරගෙන්. මම ඔහුට කිව්වා මගේ ඇඟෙන් ආලෝකයක් විහිදෙනවා කියා. මම එහෙම කිව්වේ මේක රහසක් වශයෙන් තබාගෙන ඉඳලා විවාහ වුණොත් පසුවට යම් යම් ප්‍රශ්න කරදර ඇතිවෙයි කියල හිතාගෙනයි. බණ්ඩාර ඒ ගැන කොහෙත්ම තැකීමක් කළේ නැහැ. මීට අවුරුදු 6 කට විතර කලින් අප දෙදෙනා විවාහ වුණා.”

“විවාහ වුණු මුල් කාලයේ දවසක් සැමියා මම ඇඳ සිටි ඇඳුමේ කලාමැදිරියෙක් වහලා තිබෙනවා දැක එය අතින් පිහ දැම්මා. ඒත් එක්කම ආලෝක දහරාවක් පිට වුණා. ඒ තමා සැමියා මුල් වතාවට මගේ ඇඟෙන් ආලෝක දහරාවක් පිට වෙනවා දැක්කේ. ඒක දැකලා ඔහු එකපාරටම පුදුමයට පත් වෙනවා වගේ මට තේරුම්ගියා. නමුත් ඔහුට මම කල් කල්තියාම මේ ගැන පවසා තිබුණු නිසා කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ආලෝක දහරා පිටවුනත්, ඒ බවත් සැමියා මීට කලින් කිසිමදාක දැකලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම සැමියා එදා දැකලා තිබුණේ මගේ ඇඟේ කණාමැදිරියෙකු වහලා ඉන්නවා නොවේ. මගේ ඇඟෙන් ආලෝක දහරාවක් විහිදෙනවා.”

“මම විවාහ වුණාට පස්සේ තමයි අම්මයි තාත්තයි මගේ ඇගෙන් ආලෝක දහරා විහිදෙන බව දැක ගන්නට ලැබුණේ. අම්මයි තාත්තයි හොඳටම බය වුණා. යකැදුරෝ ගෙනල්ල ශාන්තිකර්ම කළා. වෙනත් පුද පූජා පැවැත්වූවා. ඒ කිසිම දෙයකින් මගේ ඇඟෙන් නිකුත් වෙන ආලෝක දහරා නවත්වා ගන්න බැරිව ගියා. එන්න එන්නම ආලෝක දහරා පිටවීම වැඩි වෙන බවක් තමයි මට පෙනී ගියේ. සිලික් වර්ගයේ රෙදි වලින් මසා ඇති නයිටියක් ඇදගෙන ඉන්න වෙලාවට ආලෝක දහරා විහිදෙන ප්‍රමාණය ඉතාම වැඩියි.”

“මීට අවුරුද්දකට විතර කලින් ඉඳලා මගේ මහත්තයාගේ ඇගෙනුත් ආලෝක දහරා පිටවෙන්න පටන් ගත්තා. සමහරවිට මගෙන් මේක බෝ උනාද දන්නෙත් නැහැ.. යැයි සිනාසුණේ සැමියා දෙස බලමින්ය.”

“ඔව් ඒ කතාව ඇත්ත වෙන්න පුළුවනි. මටත් මෙයාගෙන් බෝ වෙන්න ඇති කියා හිතනවා යැයි බණ්ඩාර මහතා පවසා සිනාසුනේ බිරිය දෙස බලමින් ය.”

ඊළඟට අදහස් දැක්වූයේ බණ්ඩාර මහතාය.

“බැඳපු අලුත දවසක් බිරිඳගෙ ඇඟේ කනාමැදිරිය වහලා ඉන්නවා වගේ දැක්කා. ඇයගේ උරපත්ත ලඟින් කුඩාවට ආලෝකයක් විහිදුනා.ඒ නිසයි මා සිතුවේ කනාමැදිරියා වහලා ඉන්නවා කියා. ඊට පස්සෙ මම කණාමැදිරියෙක් එලවන්න සිතාගෙන අතින් පිහ දැම්මා. ඒ වෙලාවේ ඇගේ සිරුරෙන් තරමක් ලොකු ආලෝකයක් විහිදුනා. එකපාරටම මට බයකුත් ඇති වෙලා පුදුමයටත් පත් වුණා. මම මේ බව බිරිඳ එක්ක කිවුවහම එයා කිව්වා මම ඔයාට මුලින්ම කිව්වෙ මගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙනවා යැයි කියා. ඊට පස්සේ මම ඒක එච්චර ලොකුවට ගණන් ගත්තේ නැහැ. අදටත් මෙය අපට සාමාන්‍ය දෙයක්.”

“මේ ලඟදි දවසක රැක මම අපේ ත්‍රීවීල් එකේ සීට් එක අතින් පිහ දැම්මා. එතකොට එක පාරටම මගේ අතින් ආලෝක දහරා විහිදෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ අතින් සීට් එක පිහදාන එක නතර කර දැම්මා.”

තවදුරටත් මේ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් අඹුසැමි යුවළ මෙසේ පැවසූහ.

“අපි දෙන්නා හොඳට නාලා පිරිසුදු වෙලා අලුත් ඇඳුමක් ඇඳගෙන ඉන්න වෙලාවට ආලෝක දහරා පිට වෙනවා වැඩියි. ඇතැම් අවස්ථාවල ඇඳුම් ගලවද්දි චිරි චිරි ගාලා ශබ්දයක් ඇසෙනවා, ඇදගෙන ඉන්න ඇදුම් ඇඟට ඇලිලා වගේ තේරෙනවා දැනෙනවා. ඇඟෙන් දාඩිය දාන වෙලාවට ආලෝක දහරා පිටවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ බෙඩ් ෂීට් එකක් පොරවාගෙන නිදාගෙන ඉන්න අවස්ථාවල පවා ආලෝක දහරා වැඩියෙන් පිට වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මෙය අපි දෙන්නාට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ ගෙදර අයටත් එහෙම තමා. සීතල කාලයට රස්නෙ කාලයට කියා වෙනසකුත් නැහැ.”

සිරුරෙන් ආලෝක දහරා පිටවෙන අවස්ථාවල යම් අපහසු තාවයක් ඔබලාට දැනෙනවා දැනෙනවද කියා විමසුවේ ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.

“නැහැ ඩොක්ටර් එහෙම කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ.සාමාන්‍ය විදිහට අපි ජීවත් වෙන්නේ. මේ නිසා අපිට එදිනෙදා වැඩ පළ කර ගැනීමට කිසිම බාධාවක් මේ වන තෙක් වෙලත් නැහැ.cනමුත් අපිට මෙහෙම වෙන්නේ ඇයි කියා දැනගන්න කැමතියි. අපිට මෙහෙම වෙන්නේ ඇයි කියා තවම කිසිකෙනෙකුට පැවසීමට නොහැකිව තිබෙනවා. මේ වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන්න සූදානම්” අඹු සැමි යුවළ පැවසූහ.

ශ්‍රියානි කුමාරි මහත්මියගේ පියා ඩබ්ලිව්. ජී. ඩිංගිරි බණ්ඩා මහතාය. ඇයගේ මව ඩබ්ලිව්. ජී. පොඩි මැණිකේ මහත්මිය වන්නීය. ඔවුන් දෙදෙනාම හැට හත් හැවිරිදි වියේ පසුවෙති.

ශ්‍රියානි කුමාරි මහත්මියගේ මව සහ පියා ජීවත් වන්නේ ද ඇය සහ සැමියා සමඟ එකම නිවසේ ය. ඇයගේ මවගේ හෝ පියාගේ සිරුරෙන් මේ ආකාරයට ආලෝක දහරාපිටවන්නේ නොමැත.

පොඩි මැණිකේ මහත්මිය හඬ අවදි කරමින් මෙසේ කීවාය.

“දුවගේ සහ බෑනාගේ ඇගෙනුයි මේ විදිහට ආලෝක පිට වීම ගැන අපට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. දුවගේ ඇඟෙන් ආලෝක දහරා පිටවන බව ඇය කියන්නට පටන් ගත්තේ අවුරුදු 13ක වයසේ පසුවන කාලයේ. ඇය එහෙම කිව්වට අපි එයාගෙ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බවක් මුලින්ම දැක්කේ නැහැ. දුව මීට වසර 6 කට පමණ ඉහත දී විවාහ වුණා. දුවගේ ඇඟෙන් ආලෝක දහරා විහිදෙන බව මුලින්ම දැක්කේ ඇගේ සැමියායි. ඊට පස්සේ තමා අපි දෙන්නට පෙනෙන්නට පටන් ගත්තේ. ලොකු ගණන් වියදම් කරලා අපි ශාන්තිකර්ම කෙරුවා. ඒත් මේ දෙන්නගෙ ඇගෙන් ආලෝක ඇති වෙන එක නැවතුනේ නැහැ.”

“දැනට සති දෙක තුනකට ඉහතදී දුවගේ ඇඟෙන් ආලෝක දහරා ගොඩක් පිට වෙන්න පටන් ගත්තා. අම්මේ තාත්තේ මේ බලන්නකො මගේ ඇඟෙන් අද හරියට එළිය පිටවෙනවා යැයි කියා ඇය අපිට පෙන්නුවා. මම හිතුවේ දුව පිච්චෙයි කියලා. ඒ තරමටම ආලෝක දහරා පිට වුණා. අනේ දුවේ එළියට දුවන්න ගේත් එක්ක ගිනි ගනී කියා අපි කිව්වා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. දුවටයි බැනටයි මෙහෙම වෙන්නේ ඇයි කියා දැනගන්න මමයි මහත්තයයි කැමැත්තෙන් ඉන්නවා.”

මෙම අඹුසැමි යුවළගෙන් ආලෝක දහරා පිට වුනා යැයි කියා ඔවුන්ගේ සිරුරුවල කුඩාවට හෝ පිළිස්සුම් තුවාල දක්නට නොමැති බවත් හමේ අසාමාන්‍යතාවයක් පෙනෙන්නට නොමැති බවත් ජේෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසීය.

“මේ විදිහට මේ දෙන්නාගේ ඇගෙන් ආලෝක දහරා පිට වීම ගැන අපට නම් හිතා ගන්නවත් බැහැ. මේක හරිම අරුම පුදුම දෙයක් මී කලින් කවමදාවත් මේ වගේ දෙන්නෙක් ගැන අපි අහල තිබුණෙ නැහැ” යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකා ශාන්ති පුෂ්පලතා මහත්මිය පැවසූහ.

මෙය ස්ථිති විද්‍යුතයේ ප්‍රතිඵලයක් වෛද්‍ය ජනක ජයසූරිය

“ඇත්ත වශයෙන්ම අපේ ශරීරයෙන් රශ්මියක් පිටවෙනවා. නමුත් එය අපේ පියවි ඇසට දැකිය හැකි සංවේදීතාවයෙන් දහයෙන් පංගුවක් තරම් කුඩා අගයක් ගන්නා නිසා ඒ රශ්මිය අපට පෙනෙන්නේ නෑ. එය අධෝරක්ත කිරණයක් සේ හඳුන්වන්න පුළුවන්. පියවි ඇසට පෙනෙන ආලෝකයක් මුක්ත කිරීමට තරම් අපගේ සිරුරේ සෛල උණුසුම් නැහැ.

ඇතැම් ආලෝක විමෝචක සතු ඉන්නා බව අපි දන්නවා. කණාමැදිරියා, රෑ බදුල්ලා ඊට හොඳම උදාහරණ. මේ සතුන් ඒ ආලෝකය පිට කරන්නේ වෙනම ක්‍රමයකට.

මේ පුද්ගලයන්ගේ සිරුරෙන් ආලෝකය නිකුත් වීම එසේත් නැතිනම් ගිනි පුළිගු පිටවීම සිදුවන්නේ මේ ක්‍රම දෙකම නිසා නෙවෙයි‍.

එය පැහැදිලි කළ හැකි වන්නේ ස්ථිති විද්‍යුතය නම් සංකල්පයෙන්.

භෞතික වස්තූන් සෑදී ඇත්තේ පරමාණු වලින්. පරමාණුවල ඇති ප්‍රෝටෝන ධන ආරෝපණ ලෙසත් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ ලෙසත් නියුට්‍රෝන උදාසීන ලෙසත් පවතිනවා. ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක ආකර්ෂණය වන අතර සමාන ආරෝපණ එකිනෙක විකර්ෂණය වෙනවා. මෙම සමතුලිතභාවයේ බිඳවැටීමක් සිදුවූ කල්හි එනම් ධන හා ඍණ ආරෝපණ ප්‍රමාණාත්මක වෙනසක් ඇති වූ කල්හි මුක්තවන තුරු එම ආරෝපණ භෞතික වස්තූන් මත තිබිය හැකියි.

මේ පුද්ගලයන් තමන්ගේ ඇඳුමින් සිරුර පිරිමදින විට සිරුර සහ ඇඳුම් අතර ඉලෙක්ටෝන හුවමාරුවක් සිදුවෙනවා. මේ ආකාරයේ ස්ථිති විද්‍යුත් ආරෝපණ හුවමාරුවක් අලෝක ධාරාවක් ලෙස දැකිය හැකි වන්නේ වාතයේ ඇති වායු අංශ අයණීකරණය වීම නිසයි. මෙම ආලෝකයේ තීව්‍රතාව ඉතා අඩු අතර පවතින්නේ ද ඉතා අඩු කාලයක්.

ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන්ම වාතයේ ආර්ද්‍රතාවය අඩු ශීත කාලයේදී ඔබ ලෝහමය යමක් මත අත තබන විට විදුලිය වැදීමක් සේ හැඟීමක් ඔබට ඇතිවෙන්නේද මේ ආකාරයේම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නිසයි. මෙම පුද්ගලයින් තම ශරීරය පිරිමදින විට සිරුර මතුපිට ආරෝණය වනවා. මෙහිදී ශරීරය මතුපිට සිට ඉලෙක්ට්‍රෝන ඇඳුම දෙසට පැමිණීම සිදුවන අතර එහිදී වාතයේ ඇති අංශු (විශේෂයෙන් නයිට්‍රජන්) අයනීකරණය නිසා නිල් – සුදු පැහැති ආලෝකයක් දැකිය හැකියි. මේ ආලෝකයේ තීව්‍රතාව ඉතා අඩු අතර පවතින්නේද ඉතා අඩු කාලයක්. දිවා කාලයේ දී නැතිව රාත්‍රී කාලයේම අපට එය පෙනෙන්නේ එනිසයි.

කෙසේ වෙතත් අප හැමදෙනාටම මේ දේ සිදුවන්නේ නැහැ. මේ නිසා මේ යුවළ විශේෂයි. මේ පළිබඳ තවත් පරීක්ෂණ සිදු කළ යුතුයි.

ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ ලිපියකි.