බොරුව ජනගත කරන එක නවත්තන්න. සජිත්ට බැරි නම් සජබෙ ආර්ථික කමිටුව එක්ක විවාදෙටත් අපි ලෑස්තියි

0

සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් යෝජිත පක්ෂ නායකයින් අතර විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටින බැවින් එම විවාදය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරන නිවේදනයක් ජාතික ජන බලවේගය විසින් නිකුත් කර තිබෙනවා.

මුලින් සංවාදය සිදු වූ පරිදි සජිත් අනුර විවාදයට සූදානම් නොමැති නම් සිය පක්ෂයේ ආර්ථික කමිටුව සමගි ජන බලවේගයේ ඒ සම්බන්ධ කණ්ඩායම සමඟ විවාදයට සූදානම් බව එහි දැක්වෙනවා.

එම නිවේදනයට අනුව දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ ඇතිවන්නේ අනුර කුමාර දිසානායක මහතා 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගයි.

නමුත් කවර හෝ හේතුවක් මත සජිත් ප්‍රේමදාස මහතා විසින් එම විවාදය මඟ හරිමින් සිටින බවත් පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදයක් පිළිබඳ සඳහන් කරමින් ජනාධිපතිවරණයේ ප්‍රධානම අපේක්ෂකයන් දෙදෙනා අතර කතිකාව මඟ හරිමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

“විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.”

මේ අනුව එම නිවේදනයෙන් ජාතික ජන බලවේගය ඉල්ලා සිටින්නේ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු ජනගත නොකරන ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතරම සත්‍ය තත්ත්වය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.