උත්තරීතර ජනතා පරමාධිපත්‍ය බලය IMF එකට යටවෙලා – විජිත හේරත්

0

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය බලය IMF වැඩසටහනට යට කරගෙන තිබෙන බවත් එය අපේ ස්වෛරීත්වය, භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය මත පදනම් වුණු අපේම ආර්ථික මාදිලියක් ගොඩ නඟා ගැනීමට නොහැකිවීමේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

නිදහසින් වසර 76 කට පසුවත් සුද්දා අපට හඳුන්වා දෙන ලද පරිපාලන ක්‍රමයන් මත රට දැනට ක්‍රියාත්මක වන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව අපිටම අනන්‍ය රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් සකස් කර ගැනීමට කාලය උදා වී ඇති බවත් රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් අපි විසින්ම සම්පාදනය කර ගත යුතු බවත් ඔහු සඳහන් කළා.

“අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව වසර සිය ගණනක් පැවතුණා. 1948දි අපි නාමික නිදහස ලබාගෙන දැනට වසර 76ක් ගෙවී තිබෙනවා. ඇත්තටම අපට හදවතට එකඟව සමරන්න නිදහසක් තිබෙනවාද? ආපසු හැරී බැලුවොත් සුද්දා හඳුන්වා දෙන ලද කොල්බෲක්, සෝල්බරි ආණ්ඩුක්‍රමයන්ගේ නෂ්ටාවශේෂයන් තමයි අපේ ආණ්ඩුක්‍රමවලට ඇතුළත් කළේ. පසු කාලෙකදි ඉන්දියාව අප මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අපේ ව්‍යවස්ථාවලට ඇතුළත් වුණා. අපිටම කියා රාජ්‍ය ක්‍රමයක් අපි හදාගෙන නැහැ. සුද්දා අපට හඳුන්වා දෙන ලද පරිපාලන ක්‍රමයන් තමයි අපේ රටේ දැනට පවතින්නේ. අපේ භූගෝලීය ස්වභාවය, ජන සංයුතියේ ව්‍යාප්තිය, ඒ මත පදනම් වූ විද්‍යාත්මක පරිපාලන ක්‍රමයක් අපි හදාගෙන නැහැ. අවුරුදු 76ක් ගෙවී තිබියදී පවා අපිටම කියලා රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් හදාගෙන නැහැ. අපේ ස්වාධීනත්වය අත්පත් කරගෙන නැහැ. ඒ වගේම අපිටම කියලා සංවර්ධන ආර්ථික මාදිලියක් අදටත් නැහැ.

අපේ රටේ තිබෙන භෞතික සම්පත්, අපේ රටේ ඉන්න මානව සම්පතත් එක්ක යොදා ගනිමින් සංවර්ධනය කරන්නේ කොහොමද? ඒ සඳහා අපේ ස්වෛරීත්වය, භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය මත පදනම් වුණු ආර්ථික මාදිලියක් හරහා රට ගොඩනගන්නෙ කොහොමද කියන වැඩසටහනක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. අපේ ණය ප්‍රමාණය ගැන බැලුවාම ඒක හොඳටම තේරෙනවා. අපි වැඩියෙන්ම ණයවෙලා තියෙන්නේ චීනෙට, ඉන්දියාවට, ජපානයට, IMF එකට, ඇමෙරිකාවට. ජනාධිපතිවරයා කිව්වා IMF වැඩසටහන අවසන් වන තෙක් මැතිවරණ පවත්වන්න විදිහක් නැහැ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය බලය IMF වැඩසටහනට යට කර තිබෙන්නේ. අපි ආර්ථික වශයෙන් නිදහස්ද? උත්තරීතර වූ ජනතා පරමාධිපත්‍ය බලය පාලකයන්ගේ වැරැද්දෙන්ම අපි IMF එකට පවරා තිබෙනවා. ඒ කියන්නේ අපට ආර්ථික නිදහස ඇතේතේම නැහැ.

අපේ පාලකයෝ හිතාමතාම දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් ජාතික සමගිය නැතිකර තිබෙනවා. අපිටම අනන්‍ය වෙච්ච රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් සකස් කර ගැනීමට අපි හැමෝටම වගකීමක් පැවරී තිබෙනවා. රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් අපි විසින්ම සම්පාදනය කර ගනිමු. ඒ සමඟම රට තුළ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම අපි සියලු දෙනා වෙත පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීමට තමයි අපි සාමූහිකව ඒකරාශී වෙලා තිබෙන්නේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි කවුරුත් කෑ ගහන්නේ මේ රටත් ශ්‍රී ලාංකේය ජාතියත් මේ තත්වයෙන් මුදා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්” බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.