ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සිය සමාගමෙන් මුදල් සොරකම් කර හිතාගන්න බැරි ගේමක් ගැසූ ශ්‍රී ලාංකිකයා වරද පිළිගනී

0

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක් ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පෙළේ ක්‍රීඩකයින් සහභාගී වන T20 ක්‍රිකට් තරඟාවලි සඳහා ඉදිරිපත් කිරීමට උත්සාහ කරමින් මූල්‍යමය වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.

36 හැවිරිදි, නවිෂ්ට ද සිල්වා ඔහුගේ සේවායෝජකයාගෙන් මෙසේ AUD 250,000 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ පුද්ගලික සමාගමක් වන Global Talent Entertainment විසින් ක්‍රිකට් සමාජයක් වන Endeavour Hills වෙනුවෙන් හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්වීමේ උත්සව සඳහා මෙම මුදල් වලින් වැඩි ප්‍රමාණයක් යෙදවු බව වාර්තා වී තිබේ.

ක්‍රිස් ගේල්, තිලකරත්න ඩිල්ෂාන් සහ ෂොයිබ් මලික් පසුගිය වසරේ මෙල්බර්න් හි ගිනකොණ දෙසින් Endeavour Hills සඳහා ඉදිරිපත් වූ ක්‍රිකට් තරු වේ.

Endeavour Hills හෝ ක්‍රීඩකයින් කිසියම් වරදක් ගැන දැන සිටි බවට කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.

මෙම කටයුතු සඳහා අනුග්‍රාහක අරමුදල් පහත වැටීමෙන් පසු දසිල්වා මෙම වංචාවට යොමු වූ බව වික්ටෝරියානු ප්‍රාන්ත අධිකරණය සිකුරාදා පැවසීය.

“එය නොමේරූ බව සහ උත්කෘෂ්ට අදහස් වලින් පැන නගින බව පෙනේ,” විනිසුරු බෲක්ස් අධිකරණයට පවසා තිබුණි.

සිය සමාගම රවටා මුදල් වංචනික ලෙස සොරකම් කළ බවට චෝදනාව ඔහු අධිකරණය ඉදිරියේ පිළිගත් බව වාර්තා සඳහන් කරයි.

2021 මාර්තු සහ ජුලි 2022 අතර මාස 16ක කාලය තුළ, ඔහු විසින් ඔහුගේ සමාගම වන Omnivision වෙත CCTV Master වෙතින් විවිධ මිලදී ගැනීමේ ඇණවුම් 18ක් ලබා දීමට කටයුතු කර තිබේ. එය ඔහුගේ සේවායෝජකයාට නිරීක්ෂණ කැමරා සැපයූ නීත්‍යානුකූල ව්‍යාපාරයකි.

පසුව ඔහු CCTV Master ලෙස පෙනී සිටිමින් ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයක් සැකසීමෙන්, Omnivision වෙත ව්‍යාජ මුදල් බිල්පත් යවා ඔහු විසින්ම ඔහුගේම බැංකු ගිණුමට මුදල් එකතු කරන ලදී.

ඔහු 2022 ජූලි මාසයේදී සමාගමෙන් ඉවත් වූ පසු ඔහු සම්බන්ධ කර ගත් ගණුදෙනු විගණනය කළ විට මෙම වංචාව නිරීක්ෂණය විය.

එතැන් සිට ඔහු 9-5 රැකියාවට අමතරව රාත්‍රී කම්කරුවෙකු ලෙස වැඩ කිරීමෙන් සහ මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් මුදල් ණයට ගැනීමෙන් මුදල් ආපසු ගෙවා ඇති බව ආරක්ෂක නීතිඥ සෑම් නෝටන් අධිකරණයට පැවසීය.

වයස අවුරුදු 15න් පහළ මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර සංගක්කාරගේ ක්‍රීඩා සමාජයටම ක්‍රීඩා කළ, ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය බිඳී යාමෙන් පසුඔහු වයස අවුරුදු 20 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ වූවෙක් බව අධිකරණයට කරුණු වාර්තා විය.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු ගබඩා භාරකරු, ගෙයින් ගෙට විකුණුම්කරු, Harvey Norman විකුණුම් සහකාර, Deloitte විගණක සහ අර්ධකාලීන DJ ඇතුළු රැකියා ගණනාවක් සිදු කරනු ලැබීය.

සමාගම ඔහුට එරෙහිව නඩු පවරමින්, “ඉතා බරපතල වරදක්” සඳහා සිර දඬුවමක් නියම කරන ලෙස විනිසුරුවරයාගෙන් අයැද සිටියේය.

ඔක්‌තෝබර් 30 වැනිදා දඬුවම් නියම කිරීම සඳහා යළි අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීම නිසා ඇති වු කැළැල හේතුවෙන් ඔහුගේ විවාහ ගිවිස ගැනීම ද දෙදරා ගොස් ඇති බව අනාවරණය වී තිබේ.