සෘජු සහනාධාරත් දෙන ගමන් දිළිඳු කම තුරන් කරන වැඩපිළිවෙලක් අපි හදනවා

0

ලෝකයේ දියුණු සම්මත රටවල පවා දුප්පත් ජනතාව දුප්පත්කමෙන් ගලවා ගැනීම වගකීමක් ලෙස සැලකෙන බවත් දුප්පත් භාවයෙන් ජනතාව මුදා ගැනීමේ පළමු පියවර සෘජු සහනධාරය ලෙස සලකන අතර ඔවුන් දිළිඳුභාවයෙන් මුදා ගැනීමට එම රටවල් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිළිඳු ජනතාව රැකබලා ගැනීමත්, ඔවුන් ආර්ථිකයට ඇතුළත් කර ගැනීමත් ක්‍රියාත්මක කරන බවත් සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථිකය ගම දක්වා ප්‍රසාරණය කිරීම ජාජබෙ ආණ්ඩුවක මූලික කර්තව්‍යක් වනු ඇතැයි ඒ මහතා සඳහන් කර ඇත.

නමුත් දීර්ඝ කාලයක් තිස්සේ අප රට තුළ ක්‍රියාත්මක වන්නේ දිළිඳු ජනතාව ඉලක්ක කර ගත් දේශපාලන ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාම සඳහා දිළිඳු ජනයා දිළිඳු භාවයේ ගිලටීනයේ සිර කර තැබීම අනිවාර්යය සාධකයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

” එහෙම නොවෙයිනම් මේ 21 වැනි සියවසෙත් හාල් කිලෝ 20 කට දීර්ඝ පෝළිම් නිර්මාණය වෙයිද? 21වැනි මේ සියවසේ හාල් කිලෝ විස්සක් බෙදා දී ඡන්දය ලබා ගැනීමට කල්පනා කරයිද?. ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කිරීමෙන් පස්සේ හාල් කිලෝ පහට, හාල් කිලෝ විස්සට ඡන්දය ලබාගත හැකි දැයි බලන දේශාපලන සංස්කෘතියක් රට තුළ පවතින්නේ”

“ග්‍රාමීය දුප්පත් ජනතාව එයින් මුදා ගැනීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ආරම්භයේ ජනතාවට ආහාර ලබා දීම, සෞඛ්‍ය පහසුකම් ලබා දීම, දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි සෘජු සහනාධාර පුරවැසියන්ට ලබා දී ක්‍රමානුකූලව සක්‍රිය ආර්ථික වැඩපිළිවෙළක කොටස්කරුවන් බවට පත් කර ගනිමින්, ආධාරවලින් මුදා ගන්න ඕනෑ. අපේ ප්‍රතිපත්තිය ඒක. දිළිඳු ජනතාව සක්‍රියව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා තෙක් සෘජු මැදිහත් වීමකින් ඔවුන් රැකබලාගත යුතුයි.”

අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් දැක්වූයේ ජාජබෙ සමෘද්ධි ජාතික සාමුහිකයේ මාතර දිස්ත්‍රික් සමුළුව ආමන්ත්‍රණය කරමිනි.